ඉන්දු පකිස්තානු ක්‍රිකට්වලට ශිව් සේනා කඩා පනිති

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හින්දු ජාතිකවාදී ශිව් සේනා සංවිධානය හිටි හැටියේ කඩා වැදීම නිසා ඉන්දීය සහ පකිස්තානු ක්‍රිකට් බලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් අවලංගු කිරීමට සිදු විය.

මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණේ පකිස්තානය සහ ඉන්දියාව අතර ලබන දෙසැම්බරයේ දී පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව යි.

මුම්බායි නුවර පිහිටි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාර්යාලය තුළට කඩා වැදුණු ශිව් සේනා සංවිධානය කියා සිටින්නේ මුම්බායි නුවරට එල්ල වූ ප්‍රහාරයන්ට පකිස්තානය වග කිය යුතු බවයි.

එම නිසා පකිස්තානය සමඟ සිදු කරන කිසිදු කර්තව්‍යයකට ඉඩ නොදෙන බව ශිව් සේනා සංවිධානය පවසයි.

Image copyright AFP
Image caption පසුගිය දා පකිස්තානු ලේඛකයෙකුගේ පොතක් එලි දැක්වූ අවස්ථාවකට ද ශිව් සේනාවෙන් තීන්ත ප්‍රහාරයක් එල්ල විය

1966 දී ශිව් සේනා සංවිධානය ආරම්භ වූයේ 'ඉස්ලාම් ව්‍යාප්තිය වැළැක්වීම සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ඉවත් කොට තැබීමේ' අරමුණින්.

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් වලට අමතරව ජාතිභේදය සහ ආගම් භේදයද ඇතුළු වෙමින් ඇති බවයි ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

'ලංකාවේ එහෙම වෙන්නෙ නෑ'

Image copyright Daminda Wijesuriya
Image caption ලංකාදීප පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක දමින්ද විජේසුරිය

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ජාති භේදය හෝ ආගම් භේදය කිසිසේත්ම නොපවතින බවයි ලංකාදීප පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක දමින්ද විජේසුරිය බීබීසීයට කියා සිටියේ.

‘ලංකාවේ මුල්ම ටෙස්ට් නායක වර්ණපුරගෙන් පස්සේ නායකත්වය ලැබුණේ කතෝලිකයෙකු වන දුලිප් මෙන්ඩිස්ට. අදත් නායකත්වය දරන්නේ කතෝලිකයෙක් වන ඇන්ජෙලෝ මැතිව්ස්. ඔස්ට්‍රේලියාවේදී මුරලිදරන් වෙනුවෙන් පෙනී හිටියේ බෞද්ධයන් වන අර්ජුන සහ අරවින්ද.’ ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා නරක මට්ටමින් දේශපාලන බලපෑම් සිදුවන බව ක්‍රීඩා විචාරක දමින්ද විජේසුරිය ප්‍රකාශ කරයි.

‘පාලක මණ්ඩලයේ ලොකු පුටුවලට හැම විටම පත් කරගන්නේ පවතින රජයේ ආධාර කරුවන්. ක්‍රීඩා සමාජ කරන්නේ තමන්ට ලැබෙන කුට්ටිය තර කර ගැනීම සඳහා සිය ඡන්දය නිලවරණයේ දී පාවිච්චි කරන එක. ඔය නිලවරණ තමයි ලංකාවේ ක්‍රිකට්වලට තියෙන ලොකුම තර්ජනය.’ ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර