චැනල්4 නාලිකාවේ වීඩියෝ පටය සත්‍යයි: ජනාධිපති කොමිසම

Image copyright No Fire Zone
Image caption චැනල්4 නාලිකාවේ අනුග්‍රහයෙන් නිර්මාණය කෙරුණු 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටයෙන්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා භටයන් යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව විකාශනය කළ වීඩියෝ පට සත්‍ය බව මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසම පවසයි.

එම පදනම මත පිහිටා චැනල්4 නාලිකාව විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයේ ඇතුලත් දර්ශන යුද අපරාධ පිළිබඳ පරිවේශනීය සාක්ෂි සපයන බව ජනාධිපති කොමිසමේ නිගමනයයි.

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම පිණිස 2013 දී මැක්ස්වල් පරණගම කොමිසම පත්කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්.

Image caption චැනල්4 නාලිකාව විකාශනය කළ වාර්තා චිත්‍රපටය පිළිබඳ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාවේ අදාළ ඡේදය

කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙන ලද අතර, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි.

එම වාර්තා මාධ්‍යවේදීන්ට නිකුත් නොකෙරුණ නමුත්, වාර්තාවේ පරිච්ඡේද කිහිපයක් බීබීසී සංදේශයට දැකගන්නට ලැබිණ.

චැනල්4 නාලිකාවේ දර්ශන සත්‍ය බව පෙනී යන බැවින්, ඒ පිළිබඳව විධිමත් අධිකරණ විභාගයක් පැවැත්විය යුතු බව පරණගම කොමිසමේ නිර්දේශයයි.

Image copyright British Tamil Forum
Image caption ඉසයිප්‍රියා අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද බව චැනල්4 නාලිකාව එල්ල කරන බරපතල චෝදනාවක්

බාලසිංහම් නඩේසන් සහ එස් පුලිදේවන් ඇතුළු සුදු කොඩි රැගෙන ආරක්ෂක හමුදාවලට භාර වූ බව පැවසෙන සියලු දෙනාගේ මරණ පිළිබඳවත් විනිශ්චයකරුවකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ජනාධිපති කොමිසම නිර්දේශ කරයි.

යුද්ධයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ ගණයෙහි ලා සැලකිය හැකි අපරාධ සිදු කර තිබෙන බවට චැනල්4 නාලිකාව විසින් 'විශ්වසනීය චෝදනා' එල්ල කර තිබෙන බවයි මැක්ස්වල් පරණගම කොමිසම පවසන්නේ.

Image caption මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසම් වාර්තාවෙන්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කරන ලද බවට සාක්ෂි තිබෙන්නේ යයි දේශීය පරීක්ෂණ මණ්ඩලයක් විසින් නිගමනය කරන ලද පළමු වතාව මෙයයි.

කෙසේ නමුත් චැනල්4 නාලිකාවේ 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටයේ ඇතුලත් වීඩියෝ දර්ශන සත්‍ය සිදුවීම් නොවන බවත්, ඒවා නිර්මාණය කරන ලද දර්ශන බවත් ශ්‍රී ලංකා හමුදාව දිගින් දිගටම පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර