විහාර දේවාලගම්: 'බලහත්කාර බ්‍රිතාන්‍ය පනතක්'

Image copyright AFP
Image caption විහාර දේවාලගම්වලට අදාළ නිලධාරීන් පත්කිරීම ඉතා දූෂිත කටයුත්තක්: 'සමස්ත ඡන්ද ක්‍රමය රටේ දූෂිත වෙනකොට මේ ක්‍රමයත් ඉතින් දූෂිත වෙනවා'

බස්නායක නිලමේ වැනි විහාරස්ථානවලට අදාළ ගිහි නිලධාරීන් තෝරාගැනීමේදී ග්‍රාමසේවකවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබෙන බලතල සීමා කෙරෙන ආකාරයෙන් විහාර දේවාලගම් පනත සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

විහාර දේවාලගම්වලට අදාළ නිලධාරීන් පත්කිරීම ඉතා දූෂිත කටයුත්තක් බවට පත් වී ඇතැයි අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පිළිගත්තේය.

"ඔව් ඒ නිසා තමයි ඇත්තටම මේ බ්‍රිතාන්‍ය පාලකයෝ බ්‍රිතාන්‍යයේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය බලහත්කාරයෙන් බෞද්ධ ආයතනවල පරිපාලනයට ඇතුල් කරලා තියෙනව ඡන්ද ක්‍රමයක් හරහා," ඇමතිවරයා පැවසීය.

වැඩවසම් ක්‍රමය

ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් වැනි නිලධාරීන්ට ඡන්ද බලය ලබාදෙමින් තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බෞද්ධ විහාරස්තාන පාලනය කිරීම පිණිස බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සකස් කර දී තිබෙන ක්‍රමවේදය දැඩි සංශෝධනයකට ලක් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි ඇමතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

Image caption සංශෝධිත පනත ඉදිරි සති කිහිපය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවයි

"ඒ අවුල තමයි තියෙන්නේ. සමස්ත ඡන්ද ක්‍රමය රටේ දූෂිත වෙනකොට මේ ක්‍රමයත් ඉතින් දූෂිත වෙනවා," අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එම තත්වය වෙනස් කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන සංශෝධන මගින් ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් වැනි නිලධාරීන්ට ඡන්දබලය අහිමි වෙන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ: "සමහර ඒවා අපි අයින් කරනවා. අත්‍යාවශ්‍ය කිහිපයක් තියෙනව. ඒවාට පවතිනවා," බවයි.

විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට ප්‍රථම තමන්ගේ අදහස්ද විමසන මෙන් ඓතිහාසික දේවාලවල රාජකාරිකරුවන් පසුගියදා කළ ඉල්ලීම තමන්ට දැනගන්නට ලැබුණේ ජනමාධ්‍යවලින් පමණක් බවත් අධිකරණ ඇමතිවරයා කියා සිටියේය.

"අනිත් එක ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයක්, දැඩි ලෙස මේකට අවශ්‍යතාවයක් නෑ මොකද මේ විහාර දේවාලගම් සම්බන්ධ ප්‍රධාන නීති පද්ධතිය විතරයි මේ පනතේ තියෙන්නේ."

Image caption 'ඔය කියන වැඩවසම් ක්‍රමයක් දැන් පවතින්නේ නැහැ. මේ අලුත් නීතිය ආවට පස්සේ බොහෝ දුරට ඊට වැඩිය හුඟක් ප්‍රශස්ත මට්ටමකට එනව'

විශේෂයෙන්ම කුල ක්‍රමය පදනම් කරගෙන සේවා ලබාගැනීමේ යළි පැනගිය ක්‍රමවේදය සහ විහාරස්ථානවල ඉඩම් අයිතිය සම්බන්ධ විධිවිධාන සංශෝධනයට ලක් කෙරෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

"ඔය කියන වැඩවසම් ක්‍රමයක් දැන් පවතින්නේ නැහැ. මේ අලුත් නීතිය ආවට පස්සේ බොහෝ දුරට ඊට වැඩිය හුඟක් ප්‍රශස්ත මට්ටමකට එනව."

සංශෝධිත පනත ඉදිරි සති කිහිපය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර