ඇවන්ගාර්ඩ් පරීක්ෂණ;නීතිපතිට බලපෑමක් නැහැ - රනිල්

Image copyright harin

‘ඇවන්ගාර්ඩ්’ සිද්ධියට අදාළ පරීක්ෂණ නතර කිරීම සඳහා රජය නීතිපතිවරයාට කිසිදු බලපෑමක් කර නැති අතර එම පරීක්ෂණ දිගටම සිදුකරන මෙන් නීතිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ඇති බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කලේ විපක්ෂ සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින්.

අගමැතිවරයා මුලින්ම ඇවන්ගාර්ඩ් පාවෙන අවි නෞකාව පසුගිය පාලන සමයේ හසුරුවා ඇති ආකාරයයි.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවත්වාගෙන යා යුතු පාවෙන අවි ගබඩාව ගාලු වරායේ ස්ථානගත කිරීමට අවසර දුන්නේ කවර බලධරයෙකු විසින්දැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යොමු කර ඇති ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ‘මෙම පාවෙන අවි ගබඩාව ජාත්‍යන්තර මුහුදේ පවත්වා ගෙන යාම ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති බව එවකට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්.ඩී. ජයරත්නගේ ලිපියක් මගින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා වෙත දන්වා ඇති’ බවයි.

අවි බලපත් නැහැ

එහෙත් එම අවි ගබඩාව ගාලු වරායේ ස්ථානගත කිරීමට ලබා දුන් අනුමැතියට අදාළ ලියකියවිලි ආරක්‍ෂක අමාත්‍යාංශය සතුව නොමැති බවයි අගමැතිවරයා පවසන්නේ.

එසේම එම අදාළ ගිනි අවි සඳහා ශ්‍රී ලංකාව බලපත් නිකුත් කර නොමැති බවත් අගමැතිවරයා පවසයි.

පාවෙන අවි ගබඩාවේ අවි ඒවා අයත් රටවලින් නිකුත් කරන ලද බලපත්‍ර යටතේ ඇති අතර එම අවි නාවික හමුදාවේ අධීක්‍ෂණය යටතේ භාර ගැනීම හා නිකුත් කිරීම සිදු කර ඇත.

Image copyright httpavantmaritime.com
Image caption ඇවන්ගාර්ඩ් අවි අතර උණ්ඩ

ජාතික ආරක්ෂාවට බලපාන තීරණ ගැනීමට ආරක්ෂක ලේකම්වරයාට බලය තිබේද? එවැනි බලයක් නොවීනම් ඔහුට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග මොනවාදැයි අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අසන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ, ආරක්‍ෂක ලේකම්වරයා පමණක් නොව ඕනෑම රජයේ නිලධාරියෙකු තමන්ට නීතියෙන් පැවරී ඇති බලය ඉක්මවා කටයුතු කර ඇත්නම් එම නිලධාරියා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවයි.

පොලිසියත් නොදැනුවත්ව

ගාලු වරාය තුළ පවත්වා ගෙන යන පාවෙන ආයුධ ගබඩාව වටලන තෙක් ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධව දැනුවත්ව සිටි බවක් නිරීක්‍ෂණය නොවන බවත් අගමැති වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ සෑම පෞද්ගලික ගිනි අවියක් සඳහා ගිනි අවි ආඥා පනත යටතේ ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ගිනි අවි බලපත්‍රයක් තිබිය යුතු බව සඳහන් කළ අගමැතිවරයා ඒවා අධීක්‍ෂණය කිරීමට පොලිසියට බලතල ඇති බවයි පාර්ලිමේන්තුවට කියා සිටියේ.

‘ඇවන්ගාර්ඩ් ආයතනය සතු පාවෙන අවි නෞකාවේ ගබඩා කර ඇති අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරයක් ලබා දීම සිදු කර නොමැත. එබැවින් එම ආයුධ ප්‍රමාණය හෝ ඒවා කුමන රටවල ආයුධ ද යන්න හෝ පිළිබඳව ලිය කියවිලි ආරක්‍ෂක අමාත්‍යාංශය සතුව නොමැත. දැනට ක්‍රියාත්මක වන විමර්ශන වාර්තා ලැබුණු පසු ගාලු වරායේ පාවෙන අවි ගබඩාව පිළිබඳව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත’ අගමැතිවරයා පවසයි.

නීතිපතිට බලපෑම් නැහැ

ඇවන්ගාර්ඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිතුමා කෙරෙහි මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු කර නැතැයි කියා සිටි අගමැතිවරයා, නීතිපතිවරයා ද කිසිදු අවස්ථාවක අපරාධ චෝදනා යටපත් කර නොමැති අතර, එතුමා ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු කර ගෙන යන ලෙස පොලීසියට උපදෙස් දී ඇති බවයි අගමැති වික්‍රමසිංහ පවසන්නේ.

‘නීතිපතිතුමා කිසි විටක අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස හෝ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස උපදෙස් දී නොමැත. විමර්ශන කටයුතු තවදුරටත් කරන ලෙස පැහැදිලිවම උපදෙස් දී ඇති බැවින්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දැනටමත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සහ පොලීසිය විසින් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කළ හැකි චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර ගෙන යන බැවින් ද මේ වන විට ඉදිරිපත්ව ඇති කරුණු මත ඊට පිටස්තර තවත් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැත.’ අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියැවූ ප්‍රකාශයේ දැක්වෙයි.

මුදල් විශුද්ධිකරණ නීතිය

ඇවන්ගාර්ඩ් සමාගම පුද්ගලික සමාගමක් වන අතර එම සමාගමේ වියදම් සහ පරිත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා රජය සතුව නොමැති නමුත් එම සමාගම විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යම් වරදක් සිදු කර තිබේද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරමින් ඇති බවයි අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව ඉදිරියේ සිය ප්‍රතිචාරය පළ කරමින් අදහස් දැක්වූ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ නීතිපතිවරයා මග හැරීමක් සිදුකර ඇති බවයි.

දැවැන්ත මූල්‍ය අපචාරය

ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනතුරුව පාර්ලිමේන්තු‍ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් යෝජනා කළේය.

ඔහු ඇවන්ගාර්ඩ් සිදුවීම් විග්‍රහ කලේ ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළම මූල්‍ය අපරාධය හැටියටයි.