සුදු කොඩි සිද්ධිය රාජපක්ෂ ආණ්ඩුවේ ගණුදෙනුවක් - රනිල්

Image copyright Getty
Image caption 'නියෝගය දුන්නේ කොළඹින්. ඇයි එහෙම වුණේ? කාවද බේරන්න ඕන වුණේ? අර 2005 නොවැම්බර් මාසේ ඩීල් එක දැම්ම පූලිදේවන්ව බේරන්න වුවමනා වුණා'

යුද්ධයේ අවසාන දිනවල සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණි බව පැවසෙන එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී පුලිදේවන් බේරා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අගමැතිවරයා එම චෝදනාව එල්ල කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්වී ඇති මානව හිමිකම් වාර්තාව පිළිබඳ විවාදය අද දෙවන දිනයේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් අගමැතිවරයා විසින් යුද්ධයට අදාළ චෝදනා ගණනාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

2005 ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද වර්ජනයකට ගොස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට උදව් කිරීම හේතුවෙන් එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක පුලිදේවන් බේරා ගැනීමේ අවශ්‍යතාවක් රාජපක්ෂ ආණ්ඩුවට තිබු බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

Image caption සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි එල්ටීටීඊ නායකයන් පිරිසක් මරා දැමු බවට ආරක්ෂක හමුදාවලට චෝදනා

"එල්ටීටීඊය සුදු කොඩි අරන් එද්දී ඒවෙලේ එතැන සිටි අණදෙන නිලධාරි තීරණය කළ යුතුයි, මේ එන අය පිළිගන්නවාද? එහෙමත් නැත්නම් මේ කරන්නේ බොරුවක් ද කියලා. නමුත් නියෝගය දුන්නේ එතැනින් නෙවෙයි. නියෝගය දුන්නේ කොළඹින්. ඇයි එහෙම වුණේ? කාවද බේරන්න ඕන වුණේ. අර 2005 නොවැම්බර් මාසේ ඩීල් එක දැම්ම පූලිදේවන්ව බේරන්න වුවමනා වුණා. අපි ඇත්ත කතා කරමු. පුලිදේවන්ව බේරන්න කවුද සල්ලි ගත්තේ?"

හමුදාවට චෝදනා

රාජපක්ෂ ආණ්ඩුවේ මෙම ගණුදෙනුව වැරදී ගිය නිසා හමුදාවට චෝදනා එල්ලවෙන තත්වයක් ඇතිවූ බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී යුද්ධය සහ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ කතාවක් කරමින් ප්‍රකාශ කළේ.

"ඇයි පුලිදේවන් බේරගන්නේ. මම කැමැති නැහැ කවුරුවත් මැරුණට. ඒත් මේ ද්‍රවිඩ ජනතාවගේ මේ විනාශයට පුලිදේවන් වගකියන්න ඕන. ඒ වෙනුවෙන් අපි කඳුළු හලන්නේ නැහැ. හමුදාව එතැන සිරකර තැබීමට අවශ්‍යයද නැහැ. කවුද නියෝග දුන්නේ කියලා අපි දන්නවා. පුලිදේවන් හිටියේ නැත්නම් මේ අයට ආණ්ඩු බලය ගන්නට බැහැ. ඉතින් එයාව බේරන්න ගිහින් තමයි මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගත්තෙ, සුදු කොඩි දාගෙන එන මිනිසා ඇත්ත වශයෙන් භාර වෙන්න එනවා ද බොරු කරනවා ද කියලා තීරණය කිරීම හමුදාවේ කාර්ය භාරයක්"

එල්ටීටීඊ සංවිධානය සමඟ ගණු දෙනු කළ රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට තල්ලු වුයේ අහම්බෙන් බව ප්‍රකාශ කළ අගමැතිවරයා මාවිල් ආරු සිද්ධියේ දී රතන හිමියන් ඇතුළු පිරිසක් ක්‍රියා කළ ආකාරය හේතුවෙන් එල්ටීටීඊය සමග යුද්ධ කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවූ බව ප්‍රකාශ කළේය.

Image copyright AFP
Image caption 'එල්ටීටීඊ ය සමඟ ගණු දෙනු කළ රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට තල්ලු වුයේ අහම්බෙන්'

"හිතුවේ නැති විදිහට තමයි යුද්ධය පටන් ගත්තේ. ඕකනේ ඇත්ත. දුටු ගැමුණු රජ්ජුරුවෝ වගේ බුත්තලට ගිහින් ගියේ නැහැ. අහම්බෙන් ඇති වුණ යුද්ධයක්"

සත්‍යය ගවේෂණය

පසුගිය කාලයේ සිදුවූ වැරදි නිවැරදි කර ගෙන යහපත් අනාගතයක් කරා ඉදිරියට යෑමට දේශීය යාන්ත්‍රණයක් සකස් කරන සත්‍යය ගවේෂණය කරන බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.

"මම පවසන දේ වැරදි නම් තේරුම් කාරක සභාවක් පිහිටුවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්න. අපට කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ සියලූ දේ වසන් කරන්නට එපා. මා එකක් ඔබෙන් ඉල්ලා සිටින්නේ උගුඩුවාගේ දේශපාලනය අත් අරින්න. උගුඩුවා සිටින්නේ කළුවරේ. එළියට පැමිණියායින් පසු ආලෝකය සමග ඔහුට දේශපාලනය කරන්නට බැහැ"

Image copyright Dinesh Gunawardena
Image caption දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දැඩි ස්ථාවරයේ වෙනසක්?

අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මේ සඳහා පිළිතුරු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා ද මන්ත්‍රීවරයකු ලෙස මෙම විවාදයේ දී අදහස් දැක්වීමට නියමිතව තිබු නිසයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද, සිකුරාදා බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුව ඇමතුවේ නැත.

'එකඟයි'

සුදු කොඩි රැගෙන පැමිණි එල්ටීටීඊ නායකයන් පිළිබඳව රජය දැනුවත්ව නොසිටි බවයි එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශ කළේ.

විවාදයේ දී අදහස් දක්වමින් විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ යම් යම් වැරදි ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණයක් හරහා කටයුතු කිරීමට තමන් විරුද්ධ නොමැති බවයි.

"අපේ හමුදාව සංවිධානාත්මක හමුදාවක් ලෙස කිසිදු වරදක් කර නොමැති බව පරණගම වාර්තාව සාක්ෂි දරනවා"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල ඕනෑම පරීක්ෂණයකට තම පක්ෂය එකඟ බවත් ඉන් පරිබාහිර පරීක්ෂණ සඳහා නිදහස් පක්ෂයේ එකඟතාවය හිමි නොවන බවත්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර