විමල් වීරවංශ ඇප මත නිදහස්

Image copyright JNP

ව්‍යාජ ගමන් බල පත්‍රයක් භාවිතා කරමින් විදෙස් ගත වීමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටු පොලේදී අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

ඔහු ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ කල් ඉකුත් වූ ගමන් බලපත්‍රය සමඟ බව පොලිස් මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට පැවසීය. එම ගමන් බලපත්‍රය අස්ථානගත වූ බව මන්ත්‍රීවරයා මීට ඉහතදී පොලිසියට දැනුම් දී තිබිණ.

තම ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු නව ගමන් බලපත්‍රයක් ලබා ගත් බව ඔහු ප්‍රකාශ කර ඇති නමුත් නව ගමන් බලපත්‍රය සකස් කොට ඇත්තේ ව්‍යාජ තොරතුරු ඇතුලත් කිරීමෙන් බව අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය සංදේශයට පැවසීය.

අවලංගු කළ බලපත්‍රය

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගුවන් තොටුපල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත්තේ මීට කලකට පෙර අස්ථානගත වීම හේතුවෙන් ඔහු විසින් ම අවලංගු කර ගනු ලැබූ ගුවන් බලපත්‍රයයි.

මෙලෙස තමන් අතින් වරදක් සිදුවූ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයාද පිළිගත් අතර ඔහු එම සිද්ධිය ගැන දැක්වූයේ මෙවන් අදහසක්.

"මම මුල් අවස්ථාවකදී ගත් රාජතාන්ත්‍රික බලපත්‍රය නැති වෙනවා. ඊට පස්සේ අළුත් එකක් ගත්තා. ආණ්ඩු මාරුවත් එක්ක ගෙවල් මාරු වෙද්දී අර නැති වෙන බල පත්‍රය හම්බ වෙනවා. අළුත් එක නැති වෙනවා," මන්ත්‍රීවරයා පැවසීය.

"ඉතින් අපේ කාර්ය මණ්ඩලය මේක අළුත් එක කියලා අවලංගු කරපු එකට විසා ගහගෙනත් තියෙනවා. ඒ සුළු අත්වැරැද්ද වෙලා තියෙනවා."

අද උදෑසන මෙයට සිදු කළ හැක්කේ කුමක්දැයි තමන් ගුවන් තොටුපල බලධාරීන්ගෙන් විමසූ බව කියා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා, අළුත් බල පත්‍රයක් සමග වීසා බලපත්‍රය තිබෙන පරණ බලපත්‍රය රැගෙන පැමිණියහොත් විදේශ ගත වීමට අවසර දිය හැකි යයි ඔවුන් ප්‍රකාශ කළ බව වැඩිදුරටත් කියා සිටියේය.