බෝට්ටු බොහොමයක් තමිල්නාඩු දේශපාලකයන්ගේ - ධීවර ඇමති

Image copyright SHANTHI SELLATHURAI
Image caption 'මේවායේ අයිතිකාරයෝ කවුද කියලා අපි දන්නවා. වැඩි ප්‍රමාණයක අයිතිකාරයෝ තමිල්නාඩුවේ දේශපාලනඥයෝ'

නීති විරෝධී ලෙස මසුන් මැරීමේ යෙදී අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයින් නිදහස් කරන නමුත් ඔවුන්ට අයත් යාත්‍රා සහ ධීවර ආම්පන්න රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මසුන් මැරීම සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන බොහොමයක් ධීවර යාත්‍රාවල හිමිකාරිත්වය දරන්නේ තමිල්නාඩු දේශපාලනඥයන් බවටයි ඇමතිවරයා චෝදනා කරන්නේ.

‘දැනට මේ හිර ගෙවල්වල අහිංසක මිනිස්සු දාගෙන, මේවායේ අයිතිකාරයෝ කවුද කියලා අපි දන්නවා. වැඩි ප්‍රමාණයක අයිතිකාරයෝ තමිල්නාඩුවේ දේශපාලනඥයෝ. ඒ නිසා මේ අහිංසක මිනිස්සු එළියට දාලා සත්‍යග්‍රහ, විරෝධතා තියනවා. මේ ඔක්කොම කරන්නේ දේශපාලනඥයන්ගේ මෙහෙයවීම මත’ අමාත්‍යවරයා කියා සිටියේ මඩකලපුවේ පැවති උත්සවයක් අමතමින්.

'එකඟත්වයක්'

‘අපිට ධීවර ජනතාව රඳවා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.මීට පස්සේ අපේ උත්සාහය තියෙන්නේ මේ ධීවරයන් වහාම මුදා හරින්නත් ඒ වගේම ඒ අයගේ බෝට්ටු, දැල් ආම්පන්න සියල්ල අත්අඩංගුවට ගැනීම සහ රාජසන්තක කිරීමේ වැඩපිළිවල අපි ක්‍රියාත්මක කරනවා’

අවශ්‍ය පියවර ගැනීම සඳහා නාවික හමුදාව, වෙරළාරක්ෂක නිලධාරීන්, පොලිසිය සහ විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවේ පසු වන ධීවරයින් ඉදිරි දින කිහිපය ඇතුළත නිදහස් කිරීමට දෙරටවල් එකඟ වී ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය කර්මාන්තයට දැඩි ලෙස බලපා ඇති යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවලක් ක්‍රියාවට නගා ඇති බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේය.