උතුරෙන් මුස්ලිම් වැසියන් පලවා හැර වසර විසි පහක්

1990 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් උතුරු පළාතෙන් පලවා හරින ලද 8000 කට අධික මුස්ලිම් වැසියන්ගෙන් 5% ක් වත් මෙතෙක් යළි පදිංචි කිරීමට රජය අපොහොසත් වී ඇතැයි මුස්ලිම් වැසියෝ පවසති.

උතුරෙන් මුස්ලිම් වැසියන් පලවා හැර අදට වසර 25 ක් සපිරෙයි.

මුස්ලිම් වැසියන් යළි පදිංචියට යාමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මුස්ලිම් නීතිඥයකු වන රුෂ්නි හබීබ් ප්‍රකාශ කළේය.

නීතිමය ප්‍රශ්න

උතුරේ මුස්ලිම් වැසියන්ට අයත් ඉඩම් ආරක්ෂක අංශ විසින් අත් පත් කර ගෙන තිබීමත්,අධි ආරක්ෂිත කලාප එම ප්‍රදේශවල ක්‍රියාත්මක වීමත් ,ඇතැම් ඉඩම් වල වෙනත් පිරිස් පදිංචි වී සිටීමත් ප්‍රධාන ගැටලු බවයි ඔහු පවසන්නේ.

ඊට අමතරව ඉඩම් වල් වැදී මහා මූකලන් බවට පත්ව ඇති අතර ඒවා එළි පෙහෙළි කිරීමට යාමේදී නීතිමය ප්‍රශ්න පැන නැගීමත් නිසා මුස්ලිම් වැසියන්ට යළි පදිංචිවීමට නොහැකි තත්වයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

රජය විසින් මුස්ලිම් වැසියන් යළි පදිංචි කර වීම සඳහා ලබා දෙන අනුග්‍රහය ප්‍රමාණවත් නොවන බව කී ඔහු පැවසුවේ ඒ සඳහා රජයට ස්ථීර වැඩ පිළිවෙළක් නොමැති බවයි.

මෙතෙක් යළි පදිංචියට යාමට නොහැකි වූ මුස්ලිම් වැසියන් දිවයිනේ විවිධ පළාත්වල ඉතාම දුකසේ ජීවත් වන බව නීතිඥ රුෂ්නි හබීබ් පැවසුවේය.

ඔවුන්ගේ එකම බලාපොරොත්තුව තමන් උපන් භූමිය වෙත යාම බවත් ඒ ඉදිරියේ ඇති ගැටලු අවම කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

උතුරු පළාතෙන් පිට මං කළ මුස්ලිම් වැසියන්ගේ ගැටලු සඳහා උතුරු පළාත් සභාව ගෙන ඇති පියවර ගැන අදහස් විමසීමට උතුරු පළාත් සභාවේ ඉහල නිලධාරීන් කීපදෙනෙකුම ඇමතීමට උත්සාහ කලත් ඔවුන් දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා උත්සාහය අසාර්ථක විය.

නමුත් උතුරු පළාත් සභාවේ රජය නියෝජනය කරණ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අයුබ් අසීම් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් මේ ගැන ප්‍රධාන අමාත්‍යවරයාටත් සෙසු අමාත්‍යවරුන්ටත් අවස්ථා ගණනාවකදීම උතුරේ මුස්ලිම් වැසියන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළත් කිසිදු විසඳුමක් නොලැබුණු බවයි.

සාර්ථක පිළිතුරක්

තමන් එම ප්‍රශ්න ඉදිරිපත් කරණ ලද අවස්ථාව වන විට උතුරු පළාත් සභාවත් මධ්‍යම රජයත් අතර මතභේදකාරී සහ ගැටලු සහගත තත්ත්වයක් තිබුණු බවයි ඔහු පැවසුවේ.

වර්තමානයේදී රජයත් උතුරු පළාත් සභාවත් අතර දැඩි සම්බන්ධයක් පවතින බැවින් උතුරේ මුස්ලිම් ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරක් ලබාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන බව අයුබ් අසීම් මන්ත්‍රීවරයා සිය විශ්වාසය පල කළේය