තහනම් කෘෂි රසායන 'තවමත් වෙළඳපොලේ'

කෘෂි රසායන තහනම් කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළත් එම නියෝගය ඇතුලත් ගැසට් නිවේදනය තවමත් නිකුත් වී නැති බව වකුගඩු රෝගය මැඩලීමේ ක්‍රියාධරයෙක් පවසයි.

කෘෂි රසායන කිහිපයක් තහනම් කරන මෙන් පසුගියදා ජනාධිපතිවරයා නියෝග කළේ, උතුරු මැද පළාත ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක පැතිරයමින් පවතින වකුගඩු රෝගය මැඩලීමේ එක් පියවරක් වශයෙන්.

එහෙත් එම තහනම කිසිසේත්ම ක්‍රියාත්මක නොවන බවයි, රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන බීබීසී සංදේශයට කියා සිටියේ.

Image copyright ANNA MARIA BARRY JESTER

"ඒ තහනම් කරපු ග්ලයිපොසෙට් වගේ කෘෂි රසායන දැනටත් මේ අනුරාධපුර වෙළඳපොළට ගිහිල්ල ගන්න පුළුවන් වැඩි මිලක් දීල," ඔහු පැවසීය.

එමෙන්ම වකුගඩු රෝගීන්ට ලැබෙන සහන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පවසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා, තවත් බරපතල අනතුරු ඇඟවීමක් කරයි.

මෑතක සිට දකුණු පළාතේද වකුගඩු රෝගය පැතිරෙමින් තිබෙන බවයි, ඒ. රජරට සහ රුහුණු විශ්ව විද්‍යාල ඒකාබද්ධව පළාතේ කළ පර්යේෂණයකදීයි, ඒ බව අනාවරණය වී තිබෙන්නේ.

"ඒ වගේම ඌව පළාතේ ඇතැම් ප්‍රදේශවලත් මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙනව."

මීට පෙරාතුව එම පළාත්වලින් වකුගඩු රෝගීන් හඳුනාගෙන නොතිබූ බව පවසන වෛද්‍ය චන්න ජයසුමන මෙසේ හඳුනාගත් රෝගීන් සියලු දෙනා ගොවීන් බවත් සඳහන් කළේය.

90 ව දශකයේ මැද භාගයේදී පදවිපුර ජනපදය ආශ්‍රිතව මුලින්ම වාර්තා වූ වකුගඩු රෝගය ඉන් අනතුරුව උතුරු මැද පළාත, වයඹ පළාත, මහවැලි සී කලාපය, දෙහිඅත්තකණ්ඩිය, ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශවලටද පැතිර ගොස් තිබුණි.

මීට දශකයකට පමණ ඉහතදී උතුරු මැද පළාතේ පදවිය, මැදවච්චිය වැනි ප්‍රදේශවල දක්නට ලැබුණු තත්වය මේ වන විට දකුණු පළාතේ අඟුණකොලපැලැස්ස සහ බඳගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

"සර්වසම තත්වයක් දක්නට ලැබෙන්නේ; දකුණු පළාතෙත් වී ගොවිතැනේ යෙදෙන, කෘෂි රසායන භාවිතා කරපු ගොවි මහත්තුරු තමයි සියලු දෙනාම පාහේ රෝගීන් හැටියට අපිට මුණගැහිලා තියෙන්නේ."

එබැවින් ඉදිරි වසර කිහිපය ඇතුලත වකුගඩු රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් හදිසියේම දකුණු පළාතෙන්ද වාර්තාවීමේ තර්ජනයක් පවතින බවට ඔහු අනතුරු ඇඟවීමක් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර