කේටරින් ගනු දෙනු මට අදාළ නෑ - හිටපු ගුවන් සේවා ඇමති

Image copyright srilankancatering.com

ශ්‍රී ලංකන් කේටරින් ආයතනයෙන් ආහාර ලබා ගැනීමේදී සිදූවු බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් බරපතළ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම, නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ගෙන් ප්‍රශ්න කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, 2014 වසරේ මැයි රැළියට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 2014 වසරේදී පැවති පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෑම බීම සපයන ආයතනයෙන් ආහාර ලබා ගැනීම පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බවයි ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව පැවසෙන දූෂණ වංචා සිද්ධි සම්බන්ධයෙන් බරපතළ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම සිදු කරන පරීක්ෂණයක් සඳහායි හිටපු ගුවන් සේවා අමාත්‍යවරයා වූ ප්‍රියංකර ජයරත්න කොමිසම හමුවට කැඳවා තිබුණේ.

Image copyright srilankancatering.com

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තීරණ සඳහා වග කිව යුත්තේ එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය බව තමන් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බවයි.

"2014 පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් ආහාර ලබා ගැනීම ගැන ඇහුවා, ඒ සඳහා මුදල් ගෙවීමක් කර තිබෙනවා, තව ගෙවීමක් කරන්න තියෙනවා මම කිව්වා ඒක දිස්ත්‍රික් ලේකම් තුමාගෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාකච්ඡා කරන්න මොකද මට අදාළ කාරණාවක් නෙවේ නිසා,"යනුවෙන් තමා ප්‍රකාශ කල බවයි ඔහු සඳහන් කළේ.

කේටරින් ආයතනයේ ප්‍රශ්න ගැන විමසූ විට එය තමාට අදාළ කාර්යයක් නොවන බවත් ඊට පිළිතුරු දිය යුත්තේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය බවත් තමා කියා සිටි බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පැවසුවේය.

Image copyright srilankancatering.com

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2014 වසරේ මැයි රැළිය සඳහා සභාපතිවරයා තමන්ට ආහාර ලබා දුන් බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඒ පිළිබඳ සියලු තොරතුරු කොමිසම හමුවේ ප්‍රකාශ කළ බවයි පැවසුවේ.

හිටපු රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිත්වය දරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ යි.

ලබන සිකුරාදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට ද නියෝග කර තිබේ.