කේපී පිලිබඳ වාර්තාවක් අභියාචනාධිකරණයට

Image copyright Interpol India

කොටි සංවිධානයේ හිටපු නායක කුමාරන් පද්මනාදන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තොරතුරු අඩංගු වාර්තාවක් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කුමාරන් පද්මනාදන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල පෙත්සමක් අද, බදාදා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා විසින් මේ බව දැනුම් දෙන ලදී.

එහෙත් රජයේ නීතිවේදියා එම වාර්තාවේ අන්තර්ගත කරුණු පිලිබඳව විවෘත අධිකරණයේ කිසිවක් සඳහන් නොකළේය.

මේ හේතුවෙන් අදාළ වාර්තාවේ පිටපතක් තමන්ටද ලබා දිය යුතු බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීහු ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ වාර්තාවේ පිටපතක් පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසද රජයේ පාර්ශවයට නියම කළේය.

විවේචනයක්

නීතිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව තමන්ට ඇත්තේ විවේචනයක් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී සුනිල් වටගල පැවසුවේය.

“මෙම වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා මාස නවයක පමණ කාලයක් ගත කර තිබෙනවා. එහෙත් වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳව ර‍ජයේ පාර්ශවය කිසිවක් අධිකරණයේ ප්‍රකාශ කලේ නැහැ. එම වාර්තාව නිසි පරිදි අධ්‍යයනය කිරීමෙන් පසුව අපි අපේ ස්ථාවරය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා,” ඔහු සඳහන් කළේය.

අනතුරුව පෙත්සම් විභාගය ලබන මස 12 වැනිදාට කල් තැබූ අධිකරණය එදිනට පෙත්සමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි අධිකරණය ප්‍රකාශ කලේ.

මේ අතර කුමාරන් පද්මනාදන් විදේශ ගත වීම වළකාලමින් පනවා ඇති තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කරන බවද අධිකරණය ප්‍රකාශ කළේය..