මන්ත්‍රීවරුන්ට ආයුධ පුහුණුවක් අවශ්‍යද?

Image copyright Getty
Image caption 'මන්ත්‍රීවරුන්ට සිය වගකීම් පිළිබඳ පුහුණුවක් ලබා දීම වෙනුවට ආයුද පුහුණුවක් ලබා දීම මහජන මුදල් නාස්තියක්'

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවි පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවයක් තමන් නොදකින බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ දෙදින අවි පුහුණුවක නිරත වීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

මන්ත්‍රීවරුන් සඳහා අවි පුහුණුව ලබා දී තිබුණේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේදීයි.

"පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තම ආරක්ෂාව සඳහා හුඟාක් කාලෙකට ඉස්සර තිබුණ තත්වය අනුව ගත්ත තීරණයක්," දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

"ආරක්ෂක අංශයත්, එවකට තිබුණ එක්සත් ජාතික පක්ෂ රජය ගත්ත එම තීරණය සම්ප්‍රදායානුකූලව එලෙසම පවත්වාගෙන ඇවිත් තියනවා."

කෙසේ නමුත් වර්තමානයේ මන්ත්‍රීවරුන්ට එවැනි අවි පුහුණුවක් ලබා දීම අනවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

"ත්‍රස්තවාදී, කැරලිකාර සමයේ ඇති කරන ලද මෙවැනි තීරණ, මෙවැනි චක්‍ර ලේඛන, පහසුකම් ඉවත් කොට සාමාන්‍ය ජනයා සමග එකට වැඩ කරන්න පුළුවන් තත්වයට කටයුතු කිරීමට සැලැස්වීම පාර්ලිමේන්තුවේත්, කථානායකතුමාගේත් වගකීම කියලයි මම විශ්වාස කරන්නේ."

'කථානායකතුමාගේ වගකීමක්'

කථානායකවරයාගේ උපදෙස් මත මන්ත්‍රීවරුන් මෙම අවි පුහුණුවට සඳහා යොමු කරන බව පවසන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙය තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මැදිහත් වී කටයුතු කරන ලෙස කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.

"කථානායකතුමා තීරණයක් ගත යුතුයි පක්ෂ නායකයන් සමග. කතා කරලා මන්ත්‍රීවරුන් සමග තීරණයක් ගැනීමේ ඉඩකඩ තිබෙනවා. හිටපු කථානායකතුමා එහෙම තීන්දු ගත්තා," දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් අදාළ පුහුණු වැඩසටහනට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි, කතානායක කරු ජයසූරිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

මන්ත්‍රීවරුන්ට ආයුද සහ පුහුණුවක් ලබා දීම පිළිබඳ තීරණයක් ගැනීම පක්ෂ නායකයන් සතු වගකීමක් බවත් කථානායකවරයා සඳහන් කළේය.

Image copyright EPA
Image caption 'මහජන නියෝජිතයන් වුනත් අපි සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න ජනතාව. ජනතාව එක්ක ඉන්න මිනිස්සුන්ට යම් අවස්ථාවලදී ආරක්ෂක ගැටළු මතු වෙනවා'

මේ අතර නවක මන්ත්‍රීවරුන්ට සිය වගකීම් පිළිබඳ පුහුණුවක් ලබා දීම වෙනුවට ආයුද පුහුණුවක් ලබා දීම මහජන මුදල් නාස්තියක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

විශේෂයෙන්ම ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නොමැති සාමකාමී සමයක මන්ත්‍රීවරුන්ට අවි පුහුණුවක් අවශ්‍ය මන්දැයි යන්න ප්‍රශ්නයක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ශාන් විජේතුංග බීබීසී සංදේශයට පැවසීය.

'මහජන මුදල් නාස්තියක්'

"මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආරක්ෂාවට ආරක්ෂකයන් දෙදෙනෙක් ලබා දීල තිබෙනවා. ඒ ආරක්ෂකයන්ට අමතරව ඔවුන් තමන්ට ලබා දෙන අවිය භාවිතා කිරීමට පුහුණු වීම බරපතළ ගැටළුවක්," ශාන් විජේතුංග පැවසීය.

"මෙය තවත් ව්‍යසනයක ආරම්භය විය හැකි බවට ඉඩකඩ තිබෙන බව අපේ විශ්වාසය වෙන්නේ."

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මෙම අවි පුහුණුව ලබා ගත් නවක මන්ත්‍රීවරයෙක්.

"මහජන නියෝජිතයන් වුනත් අපි සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න ජනතාව. ජනතාව එක්ක ඉන්න මිනිස්සුන්ට යම් අවස්ථාවලදී ආරක්ෂක ගැටළු මතු වෙනවා," ඔහු පැවසීය.

එවැනි පුහුණුවක් ලැබීම ජනතාව සමඟ ගැටුමකට මුල පිරීමක් නොවන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ පුහුණුව අතරතුර නීතිය පිළිබඳවද දැනුවත්වීමට ලැබීම වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර