චිත්‍රාංගනී විජේවීරගෙන් බීබීසීයට සන්දේශයක්

Image copyright SriLankaGuardian.org

මේ වන විට මා සහ මගේ දරුවන් මුහුණ දී සිටින තත්වය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. එවැනි පරිසරයක් යටතේ මම බීබීසී සිංහල වෙබ් අඩවියට මෙම ලිපිය යොමු කිරීම මගින් අදහස් කරන්නේ මගේ අතීත ජීවිතය සහ අද අප මුහුණ දී සිටින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.

මම රෝහණ විජේවීර සමග විවාහ වූයේ 1980 මාර්තු මස 26 වන දිනයි. එයින් වසර තුනකට පමණ පසු 1983 කළු ජූලියත් සමග මගේ සැමියා,රෝහණ විජේවීර නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් විය.

එතැන් පටන් මුහුණ දීමට සිදු වූ ජීවිත තර්ජන හමුවේ ආරක්ෂාව පතා අප පවුලට රටේ විවිධ ස්ථාන වලට මාරු වෙමින් රහසිගත ජීවිතයක් ගත කිරීමටයි සිදු වුණේ.

1989 නොවැම්බර් 12 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් මාගේ සැමියා වූ රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා ලද අතර එවකට මා පස් දරු මවක් මෙන්ම තෙමසක ගැබිනියක් වීමි.

නොවැම්බර් 13 දින මාගේ සැමියා හමුදා අත්අඩංගුවේ දී මරණයට පත් වූ බව මා දැන ගත්තේ විද්‍යුත් මාධ්‍ය මගිනි.

හමුදා කඳවුරට

Image copyright jvpsrilanka.com
Image caption රෝහණ විජේවීර

මේ අතර මිය ගිය ජ.වි.පෙ. නායකයන්ගේ දරු පවුල් වලට රජයට භාර වන ලෙස කරන ලද ඉල්ලීම්වලට අනුව මා සහ මගේ දරුවන් එම නොවැම්බර් 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට භාර වීමි.

මා කිසි දිනක දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස හෝ අනුගාමිකයකු ලෙස කටයුතු කර නැති අතර මාගේ සැමියා මරා දමන විට මගේ දරුවන් වයස අවුරුදු අට, හත, පහ, දෙක සහ එක් හැවිරිදි විය.

දේශපාලනය යනු කුමක්ද? තම පියා කලේ කවර දේශපාලනයක් ද? යන්න පිළිබඳව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබුණි.

මාගේ බාලම දරුවා පියා මිය ගිය පසු යුද්ධ හමුදා රෝහලේ දී උපත ලද අතර ඔහු උපතේ සිටම සිරගත ජීවිතයකට උරුමකම් කියයි.

එතැන් සිට 1992 ජූනි මස වනතෙක් අවුරුදු තුනක පමණ කාලයක් මා සහ මාගේ දරුවන් ගනේමුල්ල යුද්ධ හමුදා ‘කමාන්ඩෝ’ බලකා කඳවුරේයි රඳවා තබන ලද්දේ.

දරුවන්ගේ ඉරණම

ඉන් අනතුරු කාලය කාලය තුළ පාසල් යා යුතු වයසේ පසු වූ මගේ දරුවන්ට කිසිදු අධ්‍යාපනයක් නොලැබුණි.

කිසිදු වරදක් නොකළ මාගේ දරුවන් සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් වෙන් කර සිරගත ජීවිතයකුයි ගෙවන ලද්දේ.

එම කාල වකවානුවේ අපට රැකවරණය ලබා දීමට රටවල් රැසක් ඉදිරිපත් වුනත් එවකට පැවති රජය විසින් ඒ සියලු අවස්ථා අවහිර කරමින් 1992 ජූනි මස අත්තනෝමතික ලෙස අප ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රැඳවුම් නිවාසයක රඳවන ලදී.

එය කොළඹින් කි.මි. 270 ක් පමණ දුරින් පිහිටි එල්.ටී.ටී.ඊ ප්‍රහාර ඉලක්කයක් ද විය.

මෙකී තත්වය සෘජුවම මාගේ දරුවන් ගේ සමාජානුයෝජනයට දරුණු පහරක් වූ අතර ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලැබයි රඳවා තබන ලද්දේ.

මගේ වැඩිමහල් දරුවන් දෙදෙනාට ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා නොදුණි.

සමාජයෙන් වෙන් කොට

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවකුත් මට සිටින අතර ඉහත කී තත්වය යටතේ ඇයගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර විය.

එවැනි පරිසරයක් තුළ මා සහ මගේ දරුවන්ගේ සියලු අයිතීන් අහිමි කෙරුණ අතර අපට නිදහසේ ගමන් කිරීමට, සමාජය හා මුසු වීමට, ඥාති ඇසුර ලැබීමට තිබූ සියලු අවස්ථා නොලැබුණි.

එම තත්වය යටතේ මගේ දරුවන් රැඳවුම් නිවාසයක් තුළට කොටු කරනු ලැබීමෙන් ඔවුන් දරුණු මානසික පීඩනයකට ගොදුරු වූ අතර වැඩෙන දරුවන්ට උරුම වුණේ අවම අධ්‍යාපන සහ ශුභසාධන පහසුකම් පමණි.

ඔවුන් නිසි ලෙස බලා ගැනීමට කිසිවකු නොවූ අතර මට ද කිසිම ස්වාධීන ආදායම් මාර්ගයක් නොවූයෙන් මගේ දරුවන්ගේ මූලික අවශ්‍යතා කිසි ලෙසකත් ඉටු කළ නොහැකි තත්වයකයි මා පසු වුණේ.

(චිත්‍රාංගනී විජේවීර කියන කතාවේ තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න.)