මීතොටමුල්ල: දිනකට කුණු ටොන් දෙදහසක්

Image copyright AFP

කොළඹ නගරයේ ගොඩ ගැසෙන කැළිකසල දුම්රිය යොදා ගනිමින් පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමේ රජයේ වැඩපිළිවෙළ අසාර්ථක ව්‍යාපෘතියක් වනු ඇතැයි මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

දුම්රිය මගින් දිනකට ඉවත් කළ හැක්කේ කුණු ටොන් 600ක් පමණක් බව පවසන ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ නගරයෙන් කුණු ටොන් 2000 ක් පමණ දිනකට කුණු කන්දට එක් වන බවයි.

මීතොටමුල්ල ප්‍රදේශයේ කැළිකසල ගොඩ ගැසීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම සංවිධානය මගින් ගොනු කළ නඩුවක් අද (29 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැඳවනු ලැබීය.

නඩු විභාගයට පැමිණ සිටි එම සංවිධානයේ කැවුම් කරු කේ කේ කීර්තිරත්න කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළද එම ප්‍රදේශයේ නිවාස විශාල සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමේ අවදානමක් පවතින බවයි.

තහනම් නියෝගයක්

වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්තිරත්න කුණු කන්ද මේ වන විට අඩි 300 ඉක්මවා ගොස් ඇති හෙයින් එහි පිරීමක් සිදු වුවොත් විශාල ජීවිත හානියක් සිදු විය හැකි බවට අනතුරු හඟවා සිටියි.

මීතොටමුල්ල ප්‍රදේශයේ කැළිකසල ගොඩ ගැසීම තහනම් කිරීමේ නියෝගයක් පනවන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කළේ කුණු කන්ද සම්බන්ධයෙන් ලබා දීමට නියමිත විසඳුම් පිළිබඳ වාර්තාවක් ලබන පෙබරවාරි මස 25 වැනිදා වන විට ඉදිරිපත් කරන ලෙසයි.

එදිනයට මීට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීමක් සිදු කරන බවද අධිකරණය ප්‍රකාශ කළේය.