ප්‍රගීත් පරීක්ෂණවලට මැදිහත්වීමක් නෑ - ආරක්ෂක ලේකම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ පරීක්ෂණවලට කිසිදු මැදිහත්වීමක් නොකෙරෙන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවත් වැරදිකරුවන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරනු ඇති බවත් ඔහු සංදේශයට කියා සිටියේ සන්ධ්‍යා එක්නැලිගොඩ නගන චෝදනා වලට පිළිතුරු දෙමින්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ පරීක්ෂණවලට යුද හමුදාව නිසි සහයෝගය ලබා නොදෙන බවට සන්ධ්‍යා එක්නැලිගොඩ නගන චෝදනා ප්‍රතික්ෂේප කරන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි එවැනි ප්‍රකාශයකින් තමා විස්මයට පත්වූ බව පැවසුවේය.

සම්පූර්ණ සහයෝගය

පරීක්ෂණ පැවැත්වීමට ගිරිතලේ යුද හමුදා කඳවුරට ගිය අවස්ථාවේ දී යුද හමුදාව අවශ්‍ය සහය ලබා නොදුන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා ඊයේ බදාදා අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇති බව පෙන්වා දුන් විට ඔහු පැවසුවේ ඊට තමන්ට එකඟ විය නොහැකි බවයි.

මෙම පරීක්ෂණයට සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස තමා යුද හමුදාපතිවරයාට උපදෙස් ලබා දුන් බවත් ගිරිතලේ යුද හමුදා කඳවුරට ගොස් ලිපි ලේඛන පරීක්ෂා කිරීමට පහසුකම් සලසන ලෙසට ද උපදෙස් දී තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

“ඒක නිසා අපිට කොහෙත්ම එක බාර ගන්න බැහැ, ඒ වගේ චෝදනාවක්. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද හමුදාව ඒ කටයුක්ත කරපු බව මට නැවත වතාවක් වාර්තා කරලා තිබුණා,” යනුවෙනුයි ඔහු කියා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදාව සමඟ සාකච්ඡා කොට පරීක්ෂණය හරියාකාරව ඉදිරියට කර ගෙන යාම සඳහා අවශ්‍ය සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිය යුතු බව පැවසූ ඔහු යුද හමුදාව වෙනුවෙන් නීති වේදීන් ඉදිරිපත්විය යුතු බවයි කියා සිටියේ.

පරීක්ෂණ අවුල් කිරීමක්

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව පැවැත්වෙන නඩු විභාගයේ දී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිය දී යුද හමුදාව වෙනුවෙන් යුද හමුදා නීති නිලධාරියකු අධිකරණයේ පෙනී සිටීම පරීක්ෂණ අවුල් කිරීමට දරන උත්සාහයක් ලෙසටයි සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරන්නේ.

නඩු විභාගය සඳහා අද, සිකුරාදා කොළඹ උපරිමාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ දී ඇය මාධ්‍යයට මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලට යුද හමුදාව නිසි සහයෝගය ලබා නොදෙන බවටත් සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කළාය.

Image copyright Getty

සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ අධිකරණ නියෝගයක් ලබා ගෙන ගිරිතලේ හමුදා කඳවුර පරික්ෂා කිරීමට ගිය රහස් පොලිස් නිලධාරීන්ට එහි සිටි හමුදා නිලධාරීන් නිසි සහයෝගය ලබා නුදුන් බවට නීතිපතිවරයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති බවයි.

සාධාරණ පරීක්ෂණක්

මේ හේතුවෙන් පරීක්ෂණ සාධාරණව පවත්වා ගෙන යාම තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් විය යුතු බවටයි සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටින්නේ.

මේ අතර අතුරුදන්ව සිටින එක්නැලිගොඩ මාධ්‍යවේදියා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති යුද හමුදාපති සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වෙනුවෙන් නීතිවේදීහු අද, සිකුරාදා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඔවුන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් දෙසැම්බර් මස 08 වැනිදා තෙක් කල් ලබා දී තිබේ.