මුස්ලිමුන්ට උතුර අහිමි කොට වසර විසිපහයි

Image caption විරෝධතා ව්‍යාපාරයක නිරත වෙන පුල්මුඩෙයි මුස්ලිම් කණ්ඩායමක්

දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් උතුරු පළාතෙන් නෙරපා හරින ලද සිංහල සහ මුස්ලිම් ජනතාව වසර දෙකක කාලයක් ඇතුළත එම පළාත තුළ යළි පදිංචි කරවීමට වත්මන් ආණ්ඩුව පියවර ගනු ඇතැයි තමාට විශ්වාසයක් ඇති බව ඇමති වෙළෙඳ සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

ඇමතිවරයා එම අදහස පළකළේ කොටි සංවිධානය විසින් මුස්ලිම් ජනයා උතුරින් පළවා හරිනු ලැබීමට අවුරුදු විසි පහක් පිරීම නිමිත්තෙන් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

‘උතුරින් පළවා හරින ලද ජනතාව මගේ ඉල්ලීම අනුව එහි යළි පදිංචි කරවීමට ආර්ථික කටයුතු භාර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ එකඟ වුනා. එහෙත් එම ආණ්ඩුවේ සිටිය ඇතැම් කණ්ඩායම් වල බාධා කිරීම් නිසා එය අසාර්ථක වුනා’ වෙළෙඳ සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් කියා සිටියි.

Image caption ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රැස්වීමක්

එම වාතාවරණය යටතේ උතුරේ නැවත පදිංචියට ගිය විසි පන්දහසක් මුස්ලිම් පවුල් වලින් පවුල් දහඅට දහසකට යළි කඳවුරු කරා පැමිණීමට සිදු වූ බවයි ඇමතිවරයා පවසන්නේ.

කලින් ආණ්ඩුවට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි වැඩ පිළිවෙලක් නොවීම එම අසාර්ථකභාවයට හේතු වූ බව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අදහසයි.

එජාපයේ ප්‍රතිඥාව

නැවත පදිංචි කරවීම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවටත් පැහැදිලි සැලැස්මක් ඇති බවක් දකින්නට නැති නමුත් උතුරු පළාතෙන් නෙරපා හරින ලද මුස්ලිම් ප්‍රජාව ඔවුන් කලින් සිටි ස්ථානවල යළි පදිංචි කරන බවට සහ ඔවුන්ට වන්දි ගෙවන බවට එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය මගින් සහතික වී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

‘කොටි සංවිධානය විසින් පළවා හරින ලද සිංහල ප්‍රජාවකුත් ඉන්නවා. එම ජනතාවත් අවුරුදු දෙකක කාලයක් ඇතුළත උතුරු පළාතේ නැවත පදිංචි කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා’ වෙළෙඳ සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

Image copyright mea goi
Image caption මුස්ලිම් ගැටළු අගමැති මෝඩි වෙත

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කාර්යය ඉටු කරනු ලැබීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සිය විශ්වාසය පළ කරයි.

මේ කාරණය සම්බන්ධයෙන් තමා ඉදිරි දිනවල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා බීබීසියට කියා සිටියේය.

කැබිනට් පත්‍රිකාවක්

කලින් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව කොටි සංවිධානයට එක් වෙමින් රට බෙදීමේ කාර්යයට හවුල් වී නම් ඔවුන් එදා එසේ පළවා නොහරිනු ඇතැයි ද ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

Image caption රාමසාන් උළෙලකට එක් වූ දරුවන්

‘කොටි සංවිධානය එම සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු පළාතෙන් එලවා දැමුවේ ඔවුන්ට උදව් නොදුන් නිසා. එබැවින් රටට සාමයක් උදා වුනා නම් රට වෙනුවෙන් කටයුතු කළ එම ජනතාවටත් සාමයක් හිමි විය යුතුයි’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සඳහා දැනටමත් සැලැස්මක් පිළියෙළ කර ඇතැයි කී ඇමතිවරයා එය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලබන සතිය ඇතුළත ඉදිරිපත් කරන බවත් කියා සිටියේය.