නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ සුළුජන අභිලාෂය

Image copyright EPA

යහපාලන ආණ්ඩුව නමින් ජනප්‍රිය තලයෙහි හැඳින්වීමට ලක් වෙන වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව වනාහි සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳව අභිලාෂයෙන් කටයුතු කරන පිරිස්වල ආශීර්වාදය සහ අනුග්‍රහයක ඇතිව බලයට පත් වූවක් වන අතර ඒ නිසාම ආණ්ඩුවෙහි සුජාතභාවය මුළුමනින් රැඳී පවතින්නේ එම ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කෙරෙන තත්ත්වයක් තුළයි.

අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යනු නව ප්‍රතිසංස්කරණ සමුදායක ප්‍රමුඛ අංගය වන අතර එය බොහෝ ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය නෛතික සහ ප්‍රායෝගික ශක්තිය ජනනය කෙරෙන ක‍්‍රියාමාර්ගය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු හුදෙක් ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ විසඳුමකට සීමා වන්නක් නොවන අතර එය අත්‍යවශ්‍ය ලෙස ලාංකේය සමාජය අත්පත් කර ගත යුතුව පවතින අතිශයින් පමා වී ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහතික කෙරුණ සමාජ පරිසරයක් උදා කර ගැනීමේ ඉලක්කය සමඟ නියත ලෙසම බැඳී පවතින්නකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

එහෙයින් යෝජිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී අවධානය යොමු කළ යුතු සුළු ජන අභිලාෂයන් සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමකට මෙම අවස්ථාව යොදා ගනිමි.

Image caption රාජ්‍ය නායකයා බෞද්ධ ශාසනය ආරක්ෂා කිරීමට බැඳී සිටියි

‘සුළු ජන’ යන්න පුළුල් අරුතකින් යුතු බව සත්‍යයකි. එනම්, ජන වාර්ගික සුළුතරය, ලිංගික සුළුතරය, ආගමික සුළුතරය ආදී වශයෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයෙහි කැමැත්ත සැලකිල්ලට ගැනීම හැටියට පවතින සම්ප්‍රදායට එරෙහිව යන එසේත් නැතිනම් බහුතරයෙහි කැමැත්ත විසින් නොසලකා හැරිමට ලක් වෙන සමාජ කොටස් සියල්ල සුළුතරය යන්නට ඇතුළත් කළ හැකිය.

මෙහිදී මගේ අවධානය යොමු වන්නේ යෝජිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සැලකිල්ලට ගත යුතු ජන වාර්ගික සුළුතරයෙහි අභිලාෂය පිළිබඳව කරුණු කීපයක් සම්බන්ධයෙනි..

අනාගමික රාජ්‍යයක්

Image caption දමිළ අයිතිය වෙනුවෙන් පෙනී සිටි හිටපු විපක්ෂ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්

ශ‍්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 09 වෙනි වගන්තියෙහි ‘බුද්ධාගම’ යන ශීර්ෂය යටතේ මෙසේ සඳහන් වෙයි.

‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්ථාවෙහි (1වන අනු ව්‍යවස්ථාවෙහි (ඉ) ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’.

මෙය කියවන බෞද්ධයෙකු (ලාංකේය සමාජ සංදර්භය තුළ ඔහු හෝ ඇය බොහෝ ලෙසින් සිංහල ජාතිකත්වයට අයත් වෙයි) තුළ ඇති කෙරෙන උද්වේගය මෝහනයට පත් වූ තත්වයකට සමාන වූවක් විය හැකි අතර බෞද්ධ නොවන්නකු තුළ ඇති කරන්නේ තමන් ‘පිටස්තරයෙකුය’ යන හැඟීමයි.

තමන් බහිෂ්කරණයට ලක් ව ඇති බව සංජානනය වීමත් සමඟ පුද්ගලයකු තුළ ඇති කෙරෙන එම හැඟීම අවබෝධ කර ගැනීමට කිසිවකු අබෞද්ධයෙකු වීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ.

ඇත්තෙන්ම ඒ සඳහා සැබෑ බෞද්ධයෙකු වීම සෑහෙයි. මක්නිසාද යත්, තමන් උපමාවට ගෙන අනුන්ට පීඩා කිරීමෙන් වළකින මෙන් (අත්තානං උපමං කත්වා) බෞද්ධ දර්ශනයෙහි සඳහන් කර ඇති බැවිනි.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන් ම අනාගමික ව්‍යවස්ථාවක් වීම සමාජ සුළුතරයේ ප්‍රමුඛ අභිලාෂයකි.

ආගමික නිල පිරි මැදීම

Image caption ඉඩම් අයිතිය ඉල්ලන මුලතිව් කාන්තාවන්

එවැනි ව්‍යවස්ථාවක් එක් අතකින් සුළු ජන කොටස්වල අනන්‍යතාව බැහැර කිරීමෙන් මතු වූ විරෝධය අහෝසි කිරීමට හේතු වන අතරම අනෙක් අතින් සමාජ බහුතරය වන බෞද්ධ පුරවැසියන්ගේ ආගමික නිල පිරිමැද හීලෑ කර ගනිමින් ඔවුන්ගේ සැබෑ පුරවැසි අයිතිවාසිකම් ඉටු කර දීමේ වගකීම පහසුවෙන් පැහැර හැරීමේ දේශපාලන උපාය අහෝසි කෙරෙන්නක් ද වෙයි.

අනෙක් අතින් අප මුලින් සඳහන් කරන ලද වගන්තිය මගින් කියැවෙන්නේ ‘බෞද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමක්’ ගැන වුවද, පවතින ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණ දිනයෙහි සිට මේ දක්වා ගත වූ කාලය ගැන අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනී යන්නේ ‘ශාසනය හෝ පඬු හැළියවත්’ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සිවු වෙනි පරිච්ඡේදයෙහි 18 වගන්තිය අනුව ‘ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය. දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය’.

එය පළමු වැකියෙන් කියැවෙන අදහස තුළින් ගම්‍ය වන අරුතෙහි සැර බාල කිරීමක් සේ දෙමළ සමාජයට සංජානනය වෙයි.

Image caption දමිළ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හමුවක්

‘සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය’ යනුවෙන් ජාතික භාෂා සම්බන්ධයෙන් දී ඇති සම අවස්ථාව රාජ්‍ය භාෂාව පිළිබඳව දැක්වෙන ස්ථානයේ නොමැත.

කොන් වීමේ අවසානයක්

මේ අයුරින් භාෂාව සහ ආගමික වශයෙන් පිරිනමනු ලබන ‘ප‍්‍රමුඛ සහ ප‍්‍රමුඛ නොවන’ තත්වයන් මගින් වාර්ගික සහ ආගමික සුළු ජන කොටස් අතර මතු කෙරෙන ‘තමන් කොන් කිරීමට ලක් කරනු ලැබ ඇත’ යන හැඟීම සමාජය තුළ බරපතළ භේද භින්න තත්වයක් ඇති කිරීමට හේතු වෙයි.

එවැනි තත්වයක් අද අනිවාර්ය සමාජ අවශ්‍යතාවක් වී ඇති සහජීවන සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ඉලක්කයට බාධාවක් වෙයි.

සහජීවන සමාජ බැඳීමක් ඇති විය හැක්කේ සමානයන් අතරයි. වහල් සහ ස්වාමි සම්බන්ධතාව මගින් ඇති කෙරෙන්නේ ‘බල මහන්තත්වය සහ පීඩනයට එරෙහි විරෝධාත්මක ක්‍රියාකාරිත්වය තුළින් පැන නගින ගැටුම’ සහිත පරිසරයකි.

සමාජ සහජීවනය

Image caption ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව

ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දෙනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ අන්තර්ගත විය යුතු ‘සමාජ සුළුතරයේ අභිලාෂයන්’ මෙම කෙටි සටහන තුළ සම්පූර්ණයෙන් සාකච්ඡා නොකෙරෙන අතර ‘බලය විමධ්‍යගත කිරීම’ වැනි විෂයයන් පුළුල් මට්ටමින් සැලකිල්ලට ගත යුතුව ඇත.

සංක්‍ෂිප්තව සඳහන් කළ යුතු වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන සමාජ සුළුතරයට අයත් පුද්ගලයකු තුළ ‘තමා සුළුතරයට අයත්ය’ යන හැඟීම ඇති නොවන අන්දමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය විය යුතු බවයි.