හීලෑ අලි ඇතුන් නැති අනාගතයක්

ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් වඳවී යාමේ තර්ජනයක් පවතින බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

හීලෑ අලි ඇතුන් නිසි පරිදි රැක බලා නොගැනීම හේතුවෙන් එම සතුන්ගේ ගහනය සීග්‍රයෙන් අඩු වෙමින් පවතින බව අනාවරණය වී ඇතැයි පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.

අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම හා වනාන්තරයෙන් අල්ලා අලි - ඇතුන් හීලෑ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් හීලෑ අලි පරපුර අභාවයට යමින් පවතින බව හීලෑ අලි - ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පසුගිය කාලය පුරාම අවධාරණය කළේය.

පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි - ඇතුන්ගේ විශාල හිඟයක් මතුව තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.

මේ නිසා හීලෑ අලි පරපුර මුහුණපා ඇති ගැටළු පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කළ බව පැවසූ පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර තමන්ට සොයා ගැනීමට හැකි වූයේ හීලෑ අලි ඇතුන් නිසි පරිදි රැක බලා නොගැනීම හේතුවෙන් මේ තත්වය හට ගෙන ඇති බවයි.

සාමාන්‍යයෙන් වසරකට හීලෑ අලි - ඇතුන් 3 ත් 4 ත් අතර ප‍්‍රමාණයක් මිය යාම සිදු වන බවයි ඔහු පැවසුවේ

නමුත් එම සතුන්ගේ හිඟය මඟහැරවීමට පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථාන හා දේවාල වලට පසුගිය කාලය මුළුල්ලේම අලි - ඇතුන් භාර දීම සිදු කර ඇති බව පවසන ඔහු තම අධ්‍යයනයට අනුව තහවුරු වූයේ 2006 හා 2009 අතර වසර තුනක කාලය තුළ දී හීලෑ අලි - ඇතුන් 95 ක් පමණ මරණයට පත් ව ඇති බවයි.

මෙම වසර තුන තුළ දී මිය ගොස් ඇත්තේ පැටවුන් බිහි කිරීමේ හැකියාව පවතින තරුණ වයසේ පසු වන අලි - ඇතුන් වීම විශේෂත්වයක් බවත් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර ප්‍රකාශ කරයි.

නිසි පරිදි සතුන් පෝෂණය නොකිරීම, ලෙඩ රෝග වලට නිසි පරිදි ප‍්‍රතිකාර නොකිරීම, දැඩි ලෙස හිංසනයට ලක් කිරීම හා ප‍්‍රමාණය ඉක්මවා වැඩෙහි යෙදවීම මේ තත්වය බලපෑ ඇති බව ඔහු සඳහන් කළේය.

අද වන විට හීලෑ අලි - ඇතුන් බහුලව යොදා ගන්නේ හොර දැව ජාවාරම් සඳහා හා සංචාරක කටයුතු සඳහා බව පවසන ඔහු කියා සිටියේ, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ති‍්‍රක්ක වල බහුල ව හීලෑ අලි - ඇතුන් යොදා ගනු ලබන්නේ රක්ෂිත වනාන්තර තුළ සිදු කෙරෙන හොර දැව ජාවාරම් කටයුතු සඳහා බවයි.

හබරණ, සීගිරිය, කණ්ඩලම හා පින්නවල යන ප‍්‍රදේශවල මේ වන විට හීලෑ අලි - ඇතුන් 55 ක් පමණ සංචාරක කටයුතු වල යොදා ගැනීම සිදු කරන බවත් සංචාරකයින් පිට මත රැගෙන යාම සඳහා මෙම සතුන් විවිධ සංචාරක හෝටල් වල හා සංචාරක පහසුකම් සපයන ස්ථාන වල රඳවා තබමින් දහවල් කාලය පුරාම නිසි පෝෂණයක් ලබා නොදෙමින් හිංසාකාරී ලෙස සංචාරක කටයුතු වල යොදවනු ලබන බවත් ඔහු පැවසුවේය.