ප්‍රියත් ලියනගේ ට ජාත්‍යන්තර සම්මානයක්

බීබීසී ලෝක සේවය වෙනුවෙන් ප්‍රියත් ලියනගේ විසින් නිර්මාණය කරන ලද 'පළමු ලෝක යුද්ධයේ මැකී ගිය හඬ'(Ghostly Voices of The World War one) විශේෂාංගයට වසරේ හොඳම ගුවන් විදුලි විශේෂාංගය සඳහා පිදෙන ජාත්‍යන්තර සම්මානයක් හිමිවිය.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැත්වුණු සම්මාන උළෙලේදී ආසියා ශාන්තිකර කලාපීය ගුවන් විදුලි සංගමය විසින් එම සම්මානය ප්‍රියත් ලියනගේට පිරිනමන ලදි.

ජර්මනියේ බර්ලින් නුවර වාර්ගික සම්බන්ධතා පිළිබඳ කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණු දෙවැනි ලෝක යුද්ධයේ යුද වැදුණු සොල්දාදුවන්ගේ කටහඬ රැගත් හඬපටවලට සවන් දී රැස්කරගත් තොරතුරුයි එම නිර්මාණයට පාදක වී තිබෙන්නේ.

එම සොල්දාදුවන් ජර්මානු සිරකඳවුරුවලදී ගැයූ ගී, කවි සංකල්පනා සහ ඔවුන්ගේ සංවාද තෝමස් අල්වා එඩිසන් ගේ නවතම සොයාගැනීම උපයෝගී කරගනිමින් ජර්මානු බලධාරීන් විසින් පටිගත කර තිබුණි.

බර්ලිනය අවට කඳවුරුවල සිරකොට සිටි හින්දු භක්තිකයන්, සීක භක්තිකයන් ඇතුළු බ්‍රිතාන්‍යය වෙනුවෙන් සටන් වැදුණු ඉන්දීය සොල්දාදුවන්ගේ ඥාතීන් සොයා ඔහු ඉන්දියාවේද සංචාරය කළේය.

බීබීසී ලෝක සේවය වෙනුවෙන් 2012 වසරේ දී ප්‍රියත් ලියනගේ නිර්මාණය කළ 'වයලීනය රැගත් දරුවා'(Boy with the Violin) විශේෂාංගය, ආසියා ශාන්තිකර කලාපීය ගුවන් විදුලි සංගමය විසින් වසරේ හොඳම ගුවන් විදුලි විශේෂාංගය ලෙස තෝරාගන්නා ලදි.

Ghostly Voices of The World War one, මාක් සැවේජ් ගේ නිෂ්පාදනයකි.