ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොළඹට ධාවන තරඟ අවශ්‍යයි - දිලන්ත මාලගමුව

කොළඹ නගරය තුළ පැවැත්වූ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟයෙන් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ලැබුණු බව ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව පවසයි.

පසුගිය කාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මෝටර් රථ ධාවන තරඟ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබුනත් තම ධාවන තරඟ කටයුතු සඳහා පැවති ආණ්ඩුවෙන් කිසිඳු සහායක් නොලැබුණු බවයි දිලන්ත මාලගමුව කියා සිටියේ.

මහනුවර දළදා මාලිගය ඉදිරිපිට පැවැත්වූ මෝටර් රථ ධාවන තරඟයට තමා සහභාගී නොවූ බව පවසන සුපිරි මෝටර් රථ ධාවකයා ආරම්භයේදීම ඊට එකඟ නොවූ බවත් සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ පසුගිය ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ මෝටර් රථ ධාවන තරඟ පැවැත් වූ නමුත් මෝටර් රථ ධාවන ප්‍රචලිත කිරීම සඳහා නව ආණ්ඩුව ක්‍රියා කොට ඇත්දැයි බීබීසීයේ අසාම් අමීන් විමසූ අවස්ථාවේදීයි.

'ලංකාවට ආදරේ නිසයි'

'මම හිතන්නේ ගොඩක් අය වරද්දගන ඉන්නවා. දැන් ගිය ආණ්ඩුවේ වුනත් මට උදව් කළේ නැහැ' යනුවෙන් පැවසූ ධාවන ශූර දිලන්ත මාලගමුව පැවති රජයේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ධාවන පථයේ ජයග්‍රහණ හිමි කර ගනිමින් දිවයිනට පැමිණි අවස්ථාවල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපති මැදුරට පැමිණ හමු වන ලෙස තමාට ආරාධනා කොට ඇති බවත් ඔහු පැවසුවේය.

'මගේ කාර් ඒක තෑගි හම්බ වුනාට පස්සේ එතුමා මට රෙගු බදු රහිතව ගේන්න දුන්නා. ඒ ඇරෙන්න මුදල් වලින්වත්, ක්‍රීඩා අමාත්‍යංශයෙන්වත් උදව්වක් කරලා තිබ්බේ නැහැ. මම දැන් අවුරුද්දට දිනනවා රේස් විස්සක් විතර. මම දැන් එයාර් පෝට් එකෙන් එනවද යනවද කියලවත් බලන්නේ නැහැ. නමුත් මම ඒවා බලාපොරොත්තුවෙන් නෙමෙයි දිනන්නේ. මම ආදරෙන් ලංකාවේ කොඩිය ලෝකේ ගෙන යන්න ඕනි නිසයි කරන්නේ' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිලන්ත මාලගමුව ජපානයේ පැවති ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවන තරඟ ඇතුළු ජාත්‍යන්තර තරඟ රාශියක ජය ලබා තිබේ.