සිසුන් පිටුපස අදිසි බලවේග - ගාමිණී වියන්ගොඩ

Image caption ගාමිණී වියන්ගොඩ

සිසුන්ට එල්ල කෙරුණ පොලිස් ප්‍රහාරය ‘හුදෙක් පොලිස් පහර දීමකට පමණක් ලඝු කළ හොත්’ ඒ පිටුපස ඇති අනෙක් කරුණු මග හැරී යනු ඇතැයි ප්‍රවීණ ලේඛක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.

ඔහු එම අදහස පළකළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

පසුගිය සිකුරාදා (30) අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම කරා පෙළපාලියකින් පැමිණි සිසුන්ට පොලිසිය පහර දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ ‘ශිෂ්‍යයන්ට පහර දෙනු ලැබීම කෙරෙහි මෙන්ම එම ශිෂ්‍යයන් මෙහෙයවනු ලබන ඔවුන් පිටුපස සිටින බලවේග වෙතත් අවධානය යොමු විය යුතු’ බවයි පෙන්වා දෙන්නේ.

‘ශිෂ්‍යයන් මෙහෙයවන දේශපාලන බලවේග සහ ක්‍රියාකාරීන් මේ ක්‍රියාදාමය පිටුපස ඉන්නවා’ ගාමිණී වියන්ගොඩ පවසයි.

ආණ්ඩුවේ වගකීම

කෙසේ වෙතත්, ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් ඇත්නම් එයට විසඳුමක් ලබා දීම ආණ්ඩුවේ වගකීම වන බව අවධාරණය කරන ගාමිණී වියන්ගොඩ ‘එම සිසු ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙනවා වෙනුවට ඔවුන්ට පහර දීම හෙලා දැකිය යුතු’ බවත් කියා සිටියි.

Image copyright n
Image caption පෙළපාලියෙන් පැමිණි ශිෂ්‍යයන් පොලිස් බාධක හමුවේ.

එසේම,ශිෂ්‍යයන් විරෝධතා ව්‍යාපාර තුලින් බල කෙරෙන ඉල්ලීම් කොතරම් සාධාරණ ද යන්න ප්‍රශ්න කිරීම අවැසි බව පෙන්වා දෙන ගාමිණි වියන්ගොඩ කියා සිටින්නේ එම ක්‍රියාමාර්ග පිටුපස ක්‍රියාත්මක වන දේශපාලනය හඳුනා ගත යුතු බවයි.

දෙමළ ජනතාව ත්‍රස්තවාදීන් ලෙසත් පොලිසිය හමුදාව රණවිරුවන් ලෙසත් හැඳින්වූ දේශපාලනයක නිරත වූ කණ්ඩායම් අද ශිෂ්‍යයන් පාරට බස්සවමින් කරන ක්‍රියාවන් ‘දේශපාලන කුහක කමක්’ වන බව ඔහුගේ අදහසයි.

දේශපාලන කුහකත්වය

තව දුරටත් අදහස් දක්වන ගාමිණී වියන්ගොඩ ‘සිසුන්ට එල්ල කෙරුණ පොලිස් ප්‍රහාරය අසාධාරණ බව පවසමින් අද වීදි බසින දේශපාලන ව්‍යාපාර පොලිසිය සහ හමුදාව උතුරු නැගෙනහිර ශිෂ්‍යයන් තලා පෙලා දමන විට සාමාන්‍ය වැසියන් ඝාතනය කරන විට සිටියේ සිටියේ කොතැනකදැයි’ ප්‍රශ්න කරයි.

එදා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් දෙමළ ජනතාව තාඩනයට පීඩනයට ලක් කරනු ලබන විට ඉහත කී දේශපාලන ව්‍යාපාර නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් පොලිසියේ සහ හමුදාවේ හැසිරීම ‘රණවිරු ක්‍රියාකාරකම්’ ලෙස අගය කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Image copyright b
Image caption ජල කාලතුවක්කු ප්‍රහාරයක්

‘එක් පසකින් මන්ත්‍රීවරුන් පිරිසක් පවතින පාලනයට විරුද්ධව හිටපු ජනාධිපතිවරයාගේ අනුග්‍රහය යටතේ පාර්ලිමේන්තුව තුළ එක්තරා දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින අතරවාරයේ ඊට සමගාමීව තවත් කණ්ඩායම් පාර්ලිමේන්තුවෙන් පිටත සිටිමින් එම දේශපාලන ව්‍යාපෘතියම ක්‍රියාත්මක කරන බවයි ගාමිණී වියන්ගොඩ පවසන්නේ.

එවැනි පසුබිමක් තුළ තිස් වෙනිදා ප්‍රහාරය ‘හුදෙක් පොලිසිය විසින් සිසුන්ට පහර දෙනු ලැබීමේ සරල සිදුවීමක්’ හැටියට තමන් නොදකින බවයි ඔහු කියා සිටින්නේ.

අදිසි බලවේග

පොලිස් ප්‍රහාරය හිතා මතා සැලසුම් කර සිදු කරන ලද්දක් ලෙස තමන් නොදකින නමුත් අනිවාර්යයෙන් ම එම සිදුවීම් පෙළ පිටුපස අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බව ගාමිණී වියන්ගොඩ ගේ අදහසයි.

Image caption උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ ආණ්ඩුව සිසු ඉල්ලීම් පිළිගෙන තිබුණ හෙයින් පෙළපාලියකින් පැමිණීමේ උවමනාවක් නොවූ බවයි.

සළකා බැලිය යුතු එවැනි කාරනා ඇතත් ‘පොලිසිය සිසුන් ලුහු බඳිමින් පහර දීම හෝ රජයේ බලධාරීන් එය නැවැත්වීමට අපොහොසත් වීම තමා කිසිසේත්ම සාධාරණීකරණය නො කෙරෙන බවයි’ ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

කිසිම හේතුවක් යටතේ පොලිසිය එවැනි ක්‍රියා සිදු නොකළ යුතු බව අවධාරණය කළ ගාමිණි වියන්ගොඩ අවධාරණය කළේ ‘ශිෂ්‍යයන් ආයුධයක් කර ගනිමින් සිය පටු දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ක්‍රියා කිරීමත් නවතා දැමිය යුතු’ බවයි.