රවිරාජ් ඝාතනය: හය දෙනෙකුට චෝදනා ගොනු කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරිණ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය මගින් සැකකරුවන් නව දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු නමුත් රහස් පොලිසිය විසින් අඟහරුවාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අතරින් හය දෙනෙකුට එරෙහිව පමණක් බව විත්තියේ නීතිවේදී ශ්‍රීලාල් දන්දෙනිය ප්‍රකාශ කළේය.
හෙට්ටියාරච්චිගේ චන්දන කුමාර, ගාමිණි නෙවිරත්න, ප්‍රදීප් චමින්ද යන නාවික හමුදා සෙබළුන් සහ ෆේමියන් හුසේන් නමැති පොලිස් නිලධාරියාත්, සිවනේසන් විවේකාන්තන් සහ පලනිතම්බි සුරේෂ් යන විත්තිකරුවන්ට එරෙහිවයි චෝදනා පත්‍ර ඉදිරිපත් කෙරුණේ.
ඡායාරූප මූලාශ්‍රය, AFP
රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා
සිවනේසන් විවේකානන්දන් සහ පලනිතම්බි සුරේෂ් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණය මග හැර සිටින බැවින් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි දන්වා අධිකරණය පොලිසිය වෙත වරෙන්තුවක්ද නිකුත් කළේය.
මෙම සිවිල් පුද්ගලයින් දෙදෙනා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කොටි සංවිධානයෙන් බිඳී ගිය කරුණා පාර්ශවයට සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.
චෝදනා පත්‍ර ඉදිරිපත් නොකළ සෙසු සැකකරුවන් තුන් දෙනා මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු සලකා බලමින් සිටින බව කී රහස් පොලිසිය නීතිපතිවරයාගේ තීරණය මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන බවයි කියා සිටියේ.
ඒ අනුව නඩුව නැවත ලබන 17 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම තීරණය දැනුම් දෙන මෙන් පොලිසියට නියම කළා.
මෙසේ මුදාහැරීමට නියමිත සැකකරුවන් අතර රවිරාජ් ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙන් සඳහන් කෙරුණු සම්පත් මුණසිංහ නමැති නාවික හමුදා නිලධාරියාද ඇතුළත් වෙයි.
මෙම සැකකාර නාවික හමුදා නිලධාරියා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන පෙලේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ බවද පොලිසිය මීට පෙර සඳහන් කොට තිබිණ.