වතු කම්කරු වැටුප් වැඩිකරනවා - ඇමති

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමේ අරමුණෙන් දැනටමත් සාකච්ජා ආරම්භ කොට තිබෙන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඒ පිළිබඳව ළඟදීම සාකච්ඡාවක් පවත්වන බවද අමාත්‍ය දිගම්බරම් බීබීසී සංදේශයට පැවසීය.

දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවන්ට බදාදා හෝ බ්‍රහස්පතින්දා අත්තිකාරම් දීමනාවක් ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ට සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබාදීම සිය උත්සාහය බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් කම්කරුවන්ට දිනකට රුපියල් දහසක වැටුපක් ලබා දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක පොරොන්දු නොවූ බව අවධාරණය කරන ඔහු, කම්කරුවන්ට එවැනි බලාපොරොත්තුවක් ඇති කරමින් වැටුප් වැඩිකිරීම සම්බන්ධ සාකච්ඡා අඩපණ කළ බවට ප්‍රතිවාදී කම්කරු නායක ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාට චෝදනා කරයි.

දැනට තේ මිල කඩා වැටී තේ සමාගම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලීම සාධාරණ නොවන බවයි අමාත්‍ය පලනි දිගම්බරම් පවසන්නේ.

"අපේ මතය තියෙන්නේ කම්පැනිත් පාඩු වෙන්න හොඳ නෑ, කම්කරුවොත් පාඩු වෙන්න හොඳ නෑ," ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.