'හොරා එළියේ සේවකයා හිරේ'

පසුගිය පාලන සමයේ සිදු වූ වංචා හා දූෂණ පිළිබඳව ඉදිරිපත් කළ ඇතැම් පැමිණිලි පිළිබඳව පරීක්ෂණ නිම වී ඇතත් නඩු පැවරීම හිතා මතාම නවතා ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරයි.

මෙසේ පරීක්ෂණ නිම වූ පැමිණිලි විසි පහක් පමණ නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා දක්වා ගොස් එතැනින් නතර වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

යහපාලනයට දූෂිතයන් එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දූෂිතයන්ට පමණක් නඩු පැවරීම සිදු වී නැති බවයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බීබීසීයට කියා සිටියේ.

Image copyright Wasantha Samarasinghe

‘මේ යහපාලනය දැන් යස පාලනයක් වෙලා තියෙන්නේ. පහුගිය ආණ්ඩුවේ හොරකම් කරලා, වංචා කරලා, දූෂණය කරලා අහුවෙච්ච මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු. මේක රහ පාලනයක් කරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය කඩ කිරීම ගැන රනිල් මෛත්‍රී වගකියන්න ඕන.’ ඔහු පැවසීය.

චූදිතයන් නිර්දෝෂී වී ඇත්නම් එය ප්‍රකාශයට පත් කළ හැකි බවත් එසේ කළ නොහැක්කේ සැකයකින් තොරව ඒවා ඔප්පු වී ඇති නිසා බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරයි.

‘බැසිල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගත්තට පස්සේ කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. නඩු දාල තියෙන්නේ දෙන්නටයි. ඒ ලලිත් වීරතුන්ගටයි තවත් සමාගමකටයි විතරයි. ලලිත් වීරතුංග මහත්තය හොරකම් කලේ නැහැනේ. අපි දන්නවා ඔහු රාජ්‍ය නිලධාරියෙක්. ඔහුට සිද්ධ වුනා හිටපු නායකයෝ කියපු හැම දේම කරන්න. අවසානයේ හොරා එළියේ. රජයේ සේවකයා ඇතුලේ, හිරේ.’ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

Image copyright Sri Lankan Police

මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ලැබී ඇති පැමිණිලි සියල්ල පරීක්‍ෂා කර නීති ප්‍රකාරව කටයුතු කරන බවයි.

තරාතිරම කුමක් වුවත් දුෂිතයන්ට දඬුවම් ලබා දීමට පොලිසිය අපක්ෂපාතීව කටයුතු කරන බව හෙතෙම අවධාරණය කරයි.

ඇතැම් විමර්ශන සංකීර්ණ වන හෙයින් එම පරීක්ෂණ නිම කිරීමට යම් කාලයක් ගත විය හැකි නමුත් දේශපාලන බලපෑම්වලට නතු නොවන බවයි පොලිස් ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

පොලිසියෙන් සාධාරණය ඉටු නොවන පැමිණිලි සියල්ල ඉදිරියේ දී ජනතාව හමුවේ තැබීමට තම සංවිධානය කටයුතු කරන බවට දූෂණ විරෝධී හඬ අනතුරු අඟවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර