පුනරුත්තාපන නොමැතිව නිදහස් කරන්න - 'දේශපාලන' සිරකරුවෝ

Image copyright Getty
Image caption එල්ල වී තිබෙන චෝදනාවලින් තමන් නිදහස් කරන මෙන් සෙසු සැකකරුවන් ඉල්ලා සිටි බවයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ එන් සත්‍යවේල් පියතුමා කියා සිටියේ

පුනරුත්තාපනය සඳහා යොමු කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ බව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාර ගත කොට සිටින සිරකරුවන් පිරිසක් අධිකරණය හමුවේ ප්‍රකාශ කරති.

ඔවුන් ඒ බව කියා සිටියේ ඉහත කී පනත යටතේ රිමාන්ඩ් භාරයේ පසු වන දෙමළ සැකකරුවන් 20 දෙනකු අද බදාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

එල්ල වී තිබෙන චෝදනාවලින් තමන් නිදහස් නොකරන්නේ නම් නැවතත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ඉන් සැකකරුවන් 18 දෙනකු අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ එන් සත්‍යවේල් පියතුමා කියා සිටියේ.

සැකකරුවන් දෙදෙනෙක් පමණක් පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමු වීමට කැමැත්ත පළ කොට තිබේ.

'සංහිඳියාවක් අවශ්‍ය නම්'

ත්‍රස්ත මර්දන ඒකකය අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ මෙම සැකකරුවන් පිරිස පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමු කරන මෙන් නීතිපතිවරයා තම ඒකකයට උපදෙස් දී ඇති බවයි.

'සංහිඳියාවක් අවශ්‍ය නම් ඒ වගේම දේශපාලන විසඳුමකට පා තබන්න අවශ්‍ය නම් පළමුවෙන්ම මේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න' එන් සත්‍යවේල් පියතුමා පැවසූහ.

අනතුරුව සැකකරුවන් සියලු දෙනා මෙමස 18 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය මෙම සැකකරුවන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකාරය දැනුවත් කරන මෙන් පොලිසියට නියෝග කළේය.

මෙම සිරකරුවන් එල්ටීටීඊ සැකකරුවන් විනා ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය නොහැකි බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මීට ඉහතදී පැවසූ අතර අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ මෙම රැඳවියන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර