සත්‍යයෙන් තොරව සංහිඳියාවක් නෑ - කිවිඳියක්

Image caption 'මිනිස්සු ඉතිහාසය දන්නෙ නැතිනම්, ඉතිහාසය තුළ සටහන් වී ඇති සත්‍යය දන්නේ නැතිනම් ඔවුනොවුන් අතර සමාව දිය යුතුය යන හැඟීමක් ඇතිවන්නේ නැහැ'

ඉතිහාසය පිළිබඳ දැනුම ලබාදීම මෙන්ම එම ඉතිහාසයේ සත්‍ය භාවය පිළිබඳ විශ්වාසයක් මිනිසුන් අතර ගොඩනැගීමත් කළ නොහැකි නම් විශ්වාසය සහ මිත්‍රත්වය බිඳී ගිය ජාතීන් දෙකක් අතර සංහිඳියාව යළි ඇතිකිරීමට උත්සාහ දැරීම නිෂ්ඵල ක්‍රියාවක්. වාර්ගික අර්බුද මිනිසුන් බෙදා වෙන්කරනව. කාව්‍යකරණය තුළින් මේ ගැටලුවට යම් ආකාරයක සහනයක් සැලසිය හැකි හැකියාවක්ද පවතිනවා. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව පිළිබඳ පමණක් නොවෙයි දකුණු අප්‍රිකාව ඇතුළු ජන වාර්ගික ගැටළුවලට මුහුණ දී සිටින රටවල් ගැන කතා කරමින් මෙහෙම කියන්නෙ සෙනී සෙනෙවිරත්න.

මනෝචිකිත්සාව පිළිබඳ අධ්‍යාපනය ලද සෙනී, 2001 සිට 2010 දක්වා මානසික කම්පනයට සහ වදහිංසා වලට ලක්වූවන්ට ස්වේච්ඡාවෙන් සහන සැලසීමේ නිරතව සිටි ක්‍රියාධාරිනියක්.

ඇය එංගලන්තයේ යෝර්ක්ෂයර් පළාතේ දී ඉපදී හැදුනු වැඩුණු එංගලන්ත සහ ශ්‍රී ලංකික සම්භවයක් ඇති කිවිඳියක්, ලේඛිකාවක්, ගායිකාවක් මෙන්ම නිරූපිකාවක්.

"මිනිස්සු ඉතිහාසය දන්නෙ නැතිනම්, ඉතිහාසය තුළ සටහන් වී ඇති සත්‍යය දන්නේ නැතිනම් ඔවුනොවුන් අතර සමාව දිය යුතුය යන හැඟීමක් ඇතිවන්නේ නැහැ. යුධ අපරාධ වැනි අතීතයේ මිනිසුන් අතින් සිදුවූ දේ සම්බන්ධව යුක්තිය හා සාධාරණය ඉටුවන යම් ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි," ඇය පවසන්නීය.

Image caption සෙනී සෙනෙවිරත්න, අතුරුදහන් වූවන් ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඇම්නස්ටි ජාත්‍යන්තර සංවිධානය කරන නිහඬ කළ සෙවණැලි කාව්‍ය රචනා තරඟයේ විනිශ්චයකාරියක්.

සෙනී කිවිඳියක් ලෙස ප්‍රශංසාවට ලක්වෙලා තියෙන්නෙ කවිය සහ ගීතය තුලින් තම රසිකයන් ඇද බැඳ තබාගැනීමට ඇය සතු සුවිශේෂී හැකියාව නිසා. ඒ නිසාමයි ඇයගේ නිර්මාණ එක්සත් රාජධානිය, කැනඩාව, ඩෙන්මාර්ක් සහ දකුණු අප්‍රිකාවේ ප්‍රකාශනයට පත්වෙලා තියෙන්නෙ.

ඇගේ මිශ්‍ර ජාතිකත්වය විසින් ඇයට දායාද කරනු ලැබු පක්ෂග්‍රාහී නොවූ නිවහල් චින්තනය හේතුවෙන් ඇය තම නිදහස් අදහස් එළිදක්වන්නේ සුමට වූ සරල වදන් වැකි තුලින්. ඇය පවසන්නෙ කාව්‍ය නිර්මාණයක් තුලින් නිර්මාණයක් ලෙස එලි දැක්වෙන්නේ එක් එක් පුද්ගලයාට ආවේනික වූ ඔවුන්ගේම හඬ බවයි.

"මට හිතෙන විදියට නම් කවියකින් එළිදැක්වෙන්නේ කවියා ගේ හඬ. කවියා කවුරු වුනත් එම කවිය ඔහුට හෝ ඇයටම හිමිවූ අව්‍යාජ හඬක්. එය හද පතුලින් නැගෙන නිර්ව්‍යාජ වූ එකක්," සෙනී සෙනෙවිරත්න කිවිඳිය පැවසුවේ පසුගිය දිනෙක බීබීසී සංදේශය මැදිරියට ගොඩ වූ අවස්ථාවේ.

"මගේ අලුත්ම කාව්‍ය නිර්මාණ එකතුවට ‘ද හාර්ට් ඔෆ් ඉට්’ (the heart of it) කියල නම දැම්මෙත් ඒ නිසාමයි. ඇත්තටම නිර්මාණ කරුවන් ලියන කවි තුළ ඔවුන් කවුද යන්න ගැබ්වෙලා තියනව."

Image caption කාව්‍යකරණයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ වේදනාවට සහනයක්‌ සැලසෙන්නේද?

සෙනී සෙනෙවිරත්න, අතුරුදහන් වූවන් ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය සංවිධානය කරන නිහඬ කළ සෙවණැලි කාව්‍ය රචනා තරඟයේ ඉංග්‍රීසි අංශයේ විනිශ්චයකාරියක්.

එක්සත් රාජධානියේ ජීවත් වන ඇය තමන්ව හඳුන්වා ගන්නෙ 'කළු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්' විදියට. ලොව පුරා විවිධ රටවලින් පැමිණ සිටින ජන කණ්ඩායම් එකතුවේ කොටසක් ලෙසයි ඇය තමන්ව දකින්නෙ. තමන්ගෙ නිර්මාණකරණයේ කොටසක් එම පසුබිම හා බැඳී තිබෙන බවයි ඇය පවසන්නෙ.

එනමුත් තමන්ගේ වැනි පසුබිමකින් පැමිණි නිර්මාණ කරුවන් තම ජීවිතය ගැන නොලියා තමා අත් විඳි පීඩනය ගැන පමණක් ලිවීම ප්‍රශ්නයක් වන බවත් සෙනී පවසනවා. තමන් ගැන ලියුවද, වෙනත් පීඩිත මිනිසුන් ගැන ලියුවද, ලෝකයේ සිදුවන දේශපාලනමය සිදුවීම් පිළිබඳ ලියුවද ලෝකය තුළ සිදුවන නොයෙකුත් සිදුවීම අතර නොසැලී ජීවත්වීමේ අවශ්‍යතාව කාව්‍ය නිර්මාණ තුලින් ගෙන ඒම තම පරමාර්ථය බවයි ඇය පවසන්නෙ.

"ලෙබනනයේ බෝම්බයකින් ළමයින් විශාල සංඛ්‍යාවක් මිය ගිය පුවත ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් දැනගත්තට පස්සෙ මම කවියක් ලිව්ව. ඒත් මගේ අදහස වුනේ නැහැ මම ලෙබනනයට ගිහින් මිනිස්සුන්ට මේ පිළිබඳව කියා දෙන්න ඕන කියල. ඒ ප්‍රවෘත්තිය අහල මට දැනුණු දේ වගේම ඒ සිදුවීම තුළ මම ඉදිරියට යන්නෙ කොහොමද කියන එකයි මම කල්පනා කළේ. මම හිතන්නෙ ඒකත් එක්තරා විදියකට ඒ මිනිසුන් වෙත ලඟා වීමක් කියලයි මට හිතෙන්නෙ."

Image caption සහජීවනය ඇති කිරීමේ පදනම වන්නේ සත්‍යය හඳුනාගැනීම බව සෙනී කිවිඳිය ගේ මතයයි

දකුණු අප්‍රිකාවේ සුළු ජාතිකයන් සහ මහ ජාතිය අතර ගැටීම් ඔවුන්ගේ ජන ජීවිතයට බලපෑ ආකාරය කෙබඳුද යන්න පිළිබඳ ඇය කලක් උනන්දුවක් දැක්වුවා.

ඒ රටේ කවීන් සමග තමන් මේ පිළිබඳව කළ බව පවසන ඇය දකුණු අප්‍රිකාවේ පමණක් නොව එවැනි වාතාවරණයක් පැවති වෙනත් ඕනෑම රටක කවියෙකු වුවද කාව්‍ය කරණය ට පැමිණී ඇත්තේ පීඩාකාරී සිදුවීමක් පසුබිම කරගෙන බවයි පවසන්නෙ. එවන් සිදුවීමකින් පසු ඉන් ඔබ්බට ඔවුන් තම ජීවිත රැගෙන යන්නේ එවැනි නිර්මාණකරණයක් ඔස්සේ තම හැඟීම් මුදා හැරීමෙන් බවයි අයගේ අදහස.

ඒ නිසා දකුණු අප්‍රිකාවේ අත්දැකීම් පිළිබඳ සලකා බැලීමේ දී සහජීවනය ඇති කිරීමේ පදනම වන්නේ සත්‍යය හඳුනාගැනීම බවයි සෙනී කිවිඳිය පවසන්නෙ. සැබවින්ම සිදුවූයේ කුමක් ද යන්න ජනතාවට අවබෝධ කරවන තෙක් සහජීවනය යළි ගොඩනැගීම යථාර්ථයක් වනු නැති බවයි ඇයගේ අදහස.

(සෙනී සෙනෙවිරත්න කිවිඳිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක සටහන එස්එල් සෙනෙහෙධීර විසින්)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර