මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති සමාව ඉල්ලයි

පොදු දේපල පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියි.

ලලිත් වීරතුංග ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි කරුණු පැහැදිලි කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා එම කොටාශයට නියම කර තිබිණ.

අද, බ්‍රහස්පතින්දා අධිකරණය ඉදිරියේ පෙනී සිටි අදාළ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා, ලලිත් වීරතුංග ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයා පසු ගිය සැප්තැම්බර් මස 16 වැනිදා තමන්ට උපදෙස් ලබා දුන් බව පැවසුවේය.

Image copyright bbc

ඊට පසු දින, අධිකරණ රාජකාරියක් පැවරී තිබු නිසා තමන්ට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.

සැප්තැම්බර් 18 වනදා වන විට සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා නඩුවක් ගොනු කිරිම නිසා ඔවුන් අත් අඩංගුවට නොගත් බවයි ඔහු කියා සිටියේ.

මෙම ක්‍රියාව හේතුවෙන් අධිකරණයට යම් අපහාසයක් වී නම් ඒ පිළිබඳව අධිකරණයට කනගාටුව පළ කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

එම කරුණු පිළිගත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් කිරීමට තීරණය කෙරිණ.