ආර්ථිකය සම්බන්ධයෙන් දරුණු තීරණ ගන්නවා- රනිල්

Image copyright EPA

රජයේ මධ්‍ය කාලීන සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද, බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය ඊට අනුකූලව සකස් කෙරෙනු ඇති බවට විශ්වාස කෙරේ.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

Image copyright AFP

එහි සඳහන් වූ ප්‍රධාන කරුණු 20 ක්

1. නව රජයේ වෙහෙසකර හා අවංක ව්‍යායාමයක ප්‍රතිඵල මත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් ඉදිරිපත් කළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැටී තිබුණු ජාත්‍යන්තර උගුලෙන් ගොඩ ඒමට හැකිවී මුළු ලෝකයේම වෙළඳ පොල දැන් අපට යළිත් විවෘත වී තිබේ

2. රජයේ මධ්‍ය කාලීන ඉලක්ක ලෙස රැකියා අවස්ථා දසලක්‍ෂයක් බිහි කිරීම, ආදායම් ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, ග්‍රාමීය සහ වතුකරයේ ජනතාවටත්, මධ්‍යම පාන්තිකයන්ට සහ රජයේ සේවකයන්ටත් දේපළ අයිතිය ලබා දීම, ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීම

3. පැලැස්තර විසඳුම් දමමින්, ණය බරින් රට පීඩනයට පත් කරමින් රටට ඉදිරියට යා නොහැකි බව අගමැතිවරයා පවසයි . මේ ඉදිරි ගමන සඳහා අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙය බවත් අගමැතිවරයා ප්‍රකාශ කරයි

Image copyright AFP

4. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා අඩුකරලීම. මේ ඉලක්කය 2020 සපුරාලීම

5. "මේ සමහර තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. තරමක් තිත්ත වෙන්න පුළුවන්. ඒත් අපි තිත්ත බේත් බොන්නේ අසනීපය නිට්ටාවටම සුව කර ගන්නයි" ආර්ථිකය සම්බන්ධයෙන් දරුණු තීරණ ගැනීමට ආණ්ඩුව සුදානම්

6. ලක්‍ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කර දේපළ සහ නිවාස අයිතිය ලබා දීම (වසර 10 කට වඩා වැඩි කාලයක් බලපත්‍රලාභි ඉඩම් වල ජීවත් වන ජනතාවට)

7. වතුකරයේ ලයින් කාමරවල අවුරුදු 10 කට වඩා වැඩි කලක් ජීවත් වන කම්කරු ජනතාවට කුඩා ඉඩමක හා නිවසක අයිතිය ලබා දීම

8. පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යාමට සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කිරීම

9. ජාත්‍යන්තර වෙළඳ කටයුතු විධිමත් කරලීමේ පරමාර්ථයෙන් ජාත්‍යන්තර වෙළෙඳ ඒජන්සියක් ස්ථාපිත කිරීම

10. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කිරීම. ඒ අරමුදල් දෙක එකට එක් කොට "ජාතික විශ්‍රාම පාරිතෝෂික අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවීම. රුපියල් ට්‍රිලියන 1.7 ක වත්කම් මේ යටතට පත් වේ

Image copyright gov.lk

11. වැඩ කරන ජනතාවට අවම ජීවන වැටුපක් සහතික කිරීම සඳහා රජය, වෘත්තීය සමිති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් ගෙන් සමන්විත සේවක කවුන්සිලයක් පිහිටුවීම. නව යුගයට ගැලපෙන හා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම සමය සුරක්‍ෂිත වන පරිදි නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීම

12. කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සඳහා පූර්ණ බලැති ජාතික කෘෂි අලෙවිකරණ අධිකාරියක් ස්ථාපිත කෙරේ.

13. රජයෙන් වී මිළදී ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කෙරේ

14. අඩු බදු අය කරන රාජ්‍යයක් බවට පත් වීම, සංවර්ධන උපාය මාර්ග පනත වෙනුවට ආයෝජන පනත නමින් නව පනතක් නීති ගත කිරීම. වෙළදාම් කටයුතු සඳහා පහසුකම් සැපයීමට සහ ආනයන – අපනයන නියාමනය කිරීම සඳහා ආනයන අපනයන පාලන පනත වෙනුවට, වෙළෙඳ නියාමන නීති සම්පාදනය කෙරේ

15. කොළඹ යෝක් වීදිය සහ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත ආශ්‍රිත සංචාරක කලාපත්, බෙන්තොට ප්‍රදේශයේ සංචාරක කලාපයත් ආරම්භ කරනු ලැබේ.

16. වැඩකට ගත නොහැකිව, සුදු අලි බවට පත් ව ඇති මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ආදයම් ලබන, වැඩක් ඇති ආයතන බවට පත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කෙරේ

17. යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර හා යාබද ප්‍රදේශ යළි නගා සිටුවීම සඳහා 2016 වසරේ දී ආධාර සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් ජපානය සමග සාකච්ඡා කර තිබේ

18. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා තුන් අවුරුදු පොළී රහිත ණය සහනාධාර ක්‍රමයක්, සෑම විශ්ව විද්‍යාලයකටම නොමිළයේ වයිෆයි පහසුකම්

19. දැනුම සහ කුසලතා සඳහා පැනවුනු බදු ඉවත් කිරීම . ඒ සඳහා ආරම්භක පියවර ලෙස පොත් සඳහා පනවා ඇති බද්දත්, ක්‍රීඩා භාණ්ඩ සඳහා පනවා ඇති බද්දත් ඉවත් කරනු ලැබේ.

20. පලාත් පාලන මට්ටමෙන් පත් වන ජනතා නියෝජිතයන්ගෙන් සියයට 25 ක ප්‍රතිශතයක් කාන්තාවන්ට ලබා දීමේ වැඩ පිළිවල වහාම ක්‍රියාත්මක කිරීම. 2017 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගනිමින් ස්ත්‍රී මූලික අය වැය ප්‍රතිපාදන වෙන් කිරීම