සිරකරුවන් නිදහස් කිරීම ලබන සඳුදා සිට

රැඳවුම් බාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 32 යුත් පළමු කණ්ඩායම නිදහස් කිරීමේ ක්‍රියාවලිය ලබන සඳුදා සිට ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂ නායක, ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා විශ්වාසය පළ කරයි.

මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවයි ඔහු පැවසුවේ.

දෙවැනි කණ්ඩායම

ඉන් අනතුරුව 30 දෙනකුගෙන් යුත් දෙවැනි කණ්ඩායම නිදහස් කිරීම ආරම්භ වන බවයි විපක්ෂ නායක, ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේ.

සිරකරුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක, ආර්.සම්බන්ධන් අතර අද බ්‍රහස්පතින්දා සාකච්ඡා පැවැත්විණ.

චෝදනා ලබා ඇති සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල කමිටුවක් මගින් තීරණය කෙරෙන බවත් ඔහු පැවසුවේය.

Image caption අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ බන්ධනාගරයට ගොස් සිරකරුවන් මුණ ගැසුන අවස්ථාවක්

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව විපක්ෂ නායක, ආර්.සම්බන්ධන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡාවේ දී චෝදනා ලබා බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් විපක්ෂ නායක, ආර්.සම්බන්ධන් තවදුරටත් ප්‍රකාශ කළේය.