ඇවන්ගාඩ්: රජයේ පාර්ශව ගැටුමක

ඇවන්ගාඩ් සමාගමෙන් තමන් මුදල් ගෙන නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.

ඇවන්ගාර්ඩ් සිද්ධිය වසන් කිරීමට ඇතැම් ඇමතිවරුන් උත්සාහ කරන බවට එල්ලවන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් අධිකරණ ඇමතිවරයා කියා සිටියේ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ කිසිවකුට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමට සාක්ෂි ඉදිරිපත්වී නැති බවයි.

මේ ප්‍රශ්නය මුල් වරට මතු වූ අවස්ථාවේ දී තමන් පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ බවයි ඔහු කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් විවාදයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ට තමන් ආරාධනා කළ බව පැවසූ ඔහු එවැනි චෝදනාවක් ඔප්පු කලහොත් තමා අමාත්‍ය ධුරයෙන් පවා ඉවත් වන බවට අභියෝග කල බවත් පැවසුවේය.

මාධ්‍ය ආයතනයක්

මෙම අර්බුදය පිටුපස මාධ්‍ය ආයතනයක් හිමි ව්‍යාපාරිකයන් සිටින බවයි ඔහු කියා සිටියේ.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව තමා ‍හොරෙකු ලෙස හඳුන්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බව පවසන ඔහු ස්ථිර වශයෙන්ම තමන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එරෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවත් පැවසුවේය.

බිය වැද්දීම්

තමන්ට එරෙහිව නඩු පැවරුවත් තමා රට වෙනුවෙන් දිගටම ක්‍රියා කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යයට ප්‍රකාශ කළේ අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.

පාර්ලිමේන්තුවට ගියත් නොගියත් නිවැරදි දේ කතා කරන බවත් නිවැරදි දේ කරන බවත් ඔහු පැවසුවේය.

බිය වැද්දීම් මගින් ඇත්ත කතා කිරීම නතර කිරීමට හෝ බිය ගැන්වීමට නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.