ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇවන්ගාඩ්; ‘ඇමති ප්‍රකාශන බැඳියාවන් අතර ගැටුමක්’

ඇවන්ගාඩ් සමාගම ආරක්ෂා කරන ඇමතිවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ලබන සතියේ රැස් වන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දුවක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇවන්ගාඩ් සිදුවීම් යට ගැසීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් මුදල් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කල ප්‍රකාශය ගැන බීබීසිය යොමු කළ ප්‍රශ්නයට දෙමිනුයි අමාත්‍යවරයා ඉහත කී ප්‍රකාශය කළේ.

රජයේ ඇමතිවරුන් කීප දෙනෙකු ඇවන්ගාඩ් සමාගමේ කටයුතු ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ දැඩි විවේචන එල්ල වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විශේෂ කැබිනට් හමුවක්

එම සමාගමෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් ගැන පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ලබන සතියේ රැස්වන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

නීතිය හා සාමය පිලිබඳ ඇමති තිලක් මාරපන ඇවන්ගාඩ් සමාගම නිත්‍යනුකූලව සියළු කටයුතු සිදු කර ඇති බවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අදහස වූයේත් එය එතරම් බරපතල වැරදි සිදු වී නැති බවයි .

එහෙත් එම අමාත්‍යවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළේ රජයේ මතය නොවන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ.

මුදල් බලය

දූෂණ වංචා චෝදනා ගැන නිසි ක්‍රියාමාර්ග නොගන්නේනම් දේශපාලන තීරණයක් ගැනීමට සිදු වන බව තමා සහ චම්පික රණවක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ බව පිළිගත් රාජිත සේනාරත්න ඇමතිවරයා එහෙත් ඉන් අදහස් කළේ ආණ්ඩුවෙන් ඉවත් වීමක් නොවන බවයි බීබීසියේ ප්‍රශ්න කිරීම හමුවේ සඳහන් කරන්නේ.

මුදල් බලය නිසා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොවන අවාසනාවන්ත තත්වයක් ඇති වී තිබෙන බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

තිලක් මාරපන අමත්‍යවරයා ඇවන්ගාර්ඩ් සමාගමේ නීතිවේදියෙකු ලෙස කටයුතු කර ඇති හෙයින් එමසමාගම නිදොස් කරමින් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීම බැඳියාවන් අතර ගැටුමක් බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙයි.