රහසිගත කඳවුරු නිරීක්ෂණය කරන්න - ඇම්නෙස්ටිය

Image caption ත්‍රිකුණාමලයේ සමූහ මිනීවළක තිබී හමු වූ මිනිස් ඇටසැකිල්ලක්

ශ්‍රී ලංකාවේ දස දින නිල සංචාරයක යෙදී සිටින බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිස සඳුදා කොළඹදී ආණ්ඩුවේ නායකයන් හමුවූහ.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව මෙවර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 15 කට පසු පළමු වතාවට.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුවේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව නිවේදනයක් නිකුත් කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ සිය සමීපතමයන්ට අත්වූ ඉරණම සොයා ගැනීමට එම සංචාරය මහෝපකාරී වනු ඇතැයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බලාපොරොත්තු දල්වා සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් අවසන් වරට 1999 දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවා ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පවසන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, එදා මෙදා තුර අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට සාධාරණය ඉටු විය යුතු බව අවධාරණය කරයි.

Image caption අතුරුදහන් වූ සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටින නැගෙනහිර ජනතාව

ඒ අතරින් මෑතදී ජාත්‍යන්තර අවධානයට ලක් වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ඇම්නස්ටි වාර්තාව, ඔවුන් සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් 2011 යාපනයේදී අතුරුදහන් වීම ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ප්‍රධාන අවධානයට ලක්ව තිබෙන එක් බලහත්කාර අතුරුදහන්කරවීමක්.

පසුගිය සතියේ අමාත්‍ය මනෝ ගනේෂන් හමුවීමෙන් අනතුරුව සිය පුතා අතුරුදහන්වීම සම්බන්ධ පොලිස් පරීක්ෂණ යළි ආරම්භ වී ඇති බවයි, ලලිත් කුමාර් වීරරාජ් ගේ පියා ආරුමුගම් වීරරාජා සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

"ඇමතිතුමා කිවුවා අතුරුදහන්වීම් 160 ක් ගැන පැමිණිලි ඇවිල්ල තියනවා ඒත් මගේ පුතා අතුරුදහන්වීම විශේෂ දෙයක් කියල," ආරුමුගම් වීරරාජා පැවසීය.

Image copyright Getty
Image caption 'අත්අඩංගුවට අරන් තිබ්බත් තවමත් ඒක නිමා නොවුණු පරීක්ෂණයක් විදියට තියෙන්නේ' - සන්ධ්‍යා එක්නැලිගොඩ

"මොකද අතුරුදහන් වෙච්චි මිනිස්සු සොයන්න ගිහිල්ල තමයි මගේ පුතා අතුරුදහන් වුනේ."

මෙවර පොලිස් පරීක්ෂණවලින් සාධාරණයක් ඉටු වනු ඇතැයි 'සියයට සියයක්' විශ්වාස කරන නමුත්, ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම හමුවීමට බලාපොරොත්තු වන බවත් ලලිත් කුමාර් වීරරාජ් ගේ පියා සඳහන් කළේය.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී අතුරුදහන්වූවන් රහසිගතව රඳවා තබා සිටි බව පැවසෙන ස්ථාන සහ සමූහ මිනීවල හමුවූ ස්ථානද නිරීක්ෂණය කරන මෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් ගෙන් ඉල්ලීමක් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය, ඒ සඳහා අවස්ථාව සලසා දෙන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන්ද ඉල්ලා සිටියි.

ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සංදේශය කළ විමසීමකදී සමාජ සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ, ශ්‍රී ලංකාව තුල තවමත් රහසිගත වද කඳවුරු පවතින්නේ යයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විශ්වාස කරන බවයි.

Image caption ලලිත් සහ කූගන් සොයා දෙන මෙන් ඉල්ලා පැවති විරෝධතාවක්

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රහසිගත වද කඳවුරක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන නමුත් වෙනත් ස්ථානවල එවැනි කඳවුරු පවතින්නේ දැයි තවදුරටත් සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මානව හිමිකම් ක්‍රියාධරයකු වූ සින්නවන් ස්ටීවන් සුන්දරරාජ් 2009 මැයි මාසයේ දී අතුරුදහන්වීම, 2012 පෙබරවාරියේදී ව්‍යාපාරික රාමසාමි ප්‍රභාකරන් අතුරුදහන්වීම සහ 2010 ජනවාරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කරවීම පිළිබඳව මානව හිමිකම් සංවිධානය විශේෂයෙන් සඳහන් කරයි.

අතුරුදහන්වූවන්ගේ තවත් ඥාතීන් පිරිසක් සමග අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ දූත පිරිස හමුවීමට නියමිත බව ප්‍රගීත් ගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ, සංදේශයට පැවසීය.

වෙනත් බොහෝ බලහත්කාර අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබුනත් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කරවීම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් දැනටමත් අත්අඩංගුවේ පසුවන අතර, පරීක්ෂණයේ ප්‍රගතියක් පවතින බවයි බැලූ බැල්මට පෙනී යන්නේ.

"අත්අඩංගුවට අරන් තිබ්බත් තවමත් ඒක නිමා නොවුණු පරීක්ෂණයක් විදියට තියෙන්නේ," ඒ සන්ධ්‍යා එක්නැලිගොඩ.

Image copyright AFP
Image caption එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුවේ ශ්‍රී ලංකා සංචාරය අලලා නිවේදනයක් නිකුත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ සිය සමීපතමයන්ට අත්වූ ඉරණම සොයා ගැනීමට එම සංචාරය මහෝපකාරී වනු ඇතැයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බලාපොරොත්තු දල්වා සිටින බවයි

"මේ අය අරන් ගියා කියනව නමුත් මොකක්ද කළේ කියන ඒක තාම නිල වශයෙන් එලියට ඇවිල්ල නැහැ."

සිය සැමියාට අත් වූ ඉරණම සොයමින් යන ගමනේදී ශ්‍රී ලංකාවේ නීතිය පසිඳලන ආයතන ක්‍රියාකරන ආකාරය ලෝකයට පහදාදීමට හැකි වූ බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියාය.

"මේ ආයතන ගැන ඒ අයව දැනුවත් කිරීම මගේ වගකීම මොකද මගේ පිටුපස්සේ තව දස දහස් ගණනක් අතුරුදහන් වෙච්ච පවුල්වල අය ඉන්නවා කිසිම දෙයක් කර කියා ගන්න බැරිව."

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමේ සංචාරය සහ ඇම්නස්ටි ජාත්‍යන්තරය කරන ඉල්ලීම් පිළිබඳව විමසීම පිණිස විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනය පරිදි මෙම සංචාරයට එක්ව සිටින එක්සත් ජාතීන්ගේ දූත පිරිස කොළඹදී මෙන්ම උතුරේත්, දකුණේත් ප්‍රදේශ ගණනාවකදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මුණ ගැසීමටත් නියමිතයි.

අසූව දශකයේ අග භාගයේ 'භීෂණ සමයේ' බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම හමුවන්නේ දැයි විමසීම පිණිස ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇමතීමට දැරූ උත්සාහයද සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර