'එක්සත් ජාතීන්ට එරෙහිව ලංකාවේ නඩු කියන්න බැහැ'

Image copyright Reuters

එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ නඩු විභාගයක් පැවැත්විය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති දරුස්මාන් වාර්තාව ඇතුළු ජාත්‍යන්තර පරීක්ෂණයකට අදාළ නිර්දේශ සියල්ල නීති විරෝධී යැයි තීන්දු කරන මෙන් ඉල්ලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

එම නඩුවට අදාලව ලිඛිතව කරුණු පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය අධිකරණයට දන්වා ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද නිතිය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව නඩු පවරනු ලැබීමෙන් වැලකි සිටීමට මුක්තියක් හිමිවන බවයි.

එම නිසා මෙම නඩුව පවත්වා ගෙන යා නොහැකි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

එහෙත් රජයේ තර්කය පිළිගත නොහැකි බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී කපිල ගමගේ කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කල පරීක්ෂණ සියල්ල එම සංවිධානයට පැවරී ඇති බලය ඉක්මවා ගොස් සිදු කල කටයුතු බවයි නීතිවේදියා පවසන්නේ.

මේ නිසා එම සංවිධානයට ශ්‍රී ලංකාව තුල මුක්තියක් හිමි නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ පෙත්ස්ම්කාර පාර්ශවයේ නීතිවේදීහු මෙම නඩුව ඒකපාක්ෂිකව විභාගයට ගන්නා මෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව පෙත්සම දෙසැම්බර් මස 08 වනදා යලි කැදවීමට නියම කල දිසා අධිකරණය එදිනට මෙම නඩුව ඉදිරියටත් විභාග කිරීමට අවසර දෙන්නේද නැත්ද යන්න තීන්දු කරන බව කියා සිටියේය.