සෝභිත හිමියෝ 'සුළු ජාතීන් වෙනුවෙන් හඬ නැගුවා'

සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් පමණක් නොව දෙමළ සහ මුස්ලිම් සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද මාදුළුවාවේ සෝභිත හිමියන් එක හා සමානව හඬ නැගූ බව මුස්ලිම් ක්‍රියාධරයෝ පවසති.

තීරණාත්මක අවධියක උන්වහන්සේ අහිමි වීම මුළු රටටම විශාල පාඩුවක් බවයි මුස්ලිම් සාම මහලේකම් කාර්යාලයේ ආරම්භක මහ ලේකම්වරයා වන ජාවඩ් යුසුෆ් සංදේශයට කියා සිටියේ.

ජාවඩ් යුසුෆ්, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ දී සෝභිත හිමියන් සමඟ සමීපව කටයුතු කළ මුස්ලිම් ක්‍රියාධරයෙකි.

‘සෝභිත හාමුදුරුවන්ට ඕනෑ වුණේ හැම කෙනාටම සාධාරණය ඉටු වෙනවා දැකීම. අසාධාරණය සිදුවන හැම තැනකදීම ඊට එරෙහිව උන්වහන්සේ හඬ නැගුවා. සිංහල, මුස්ලිම් හෝ දෙමළ කියල භේදයකින් තොරව හඬ අවදි කළා. මේ වගේ තීරණාත්මක අවධියක උන් වහන්සේ අපවත් වීම රටට මහත් පාඩුවක්’ ජාවඩ් යුසුෆ් සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවසීය.

මේ අතරතුර සංදේශයට කතා කළ ආචාර්ය දඹර අමිල හිමි කියා සිටියේ බුද්ධ වචනයට අනුව ක්‍රියා කළ සෝභිත හිමියන් ආදර්ශමත් භික්ෂූන් වහන්සේ නමක් බවයි.

‘බහුජන හිතාය, බහුජන සුඛාය කියන බුද්ධ වචනයට අනුව හැසිරුණු අංක එකේ භික්ෂූන් වහන්සේ නමක් තමයි සෝභිත හාමුදුරුවෝ. තමන්ගේ හැසිරීමෙන් භික්ෂූන් වහන්සේලාට ආදර්ශයක් දුන්න. රජුන් වරෙක තැනුවා. රජුන් ඉවත් කළා. ඒ ක්‍රියාවලීන් දෙකම කළ භික්ෂූන් වහන්සේ නමක්.’ ආචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.

රටේ නායකයන් කිහිප දෙනෙකුම පත් කර ගැනීම සඳහා උන් වහන්සේ දායක වී ඇති නමුත් තමාගේ දායකත්වයෙන් පත් කර ගත් නායකයා වුවද රටට හෝ ජනතාවට හානිකර දේ කරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමටද කටයුතු කළ බවයි ආචාර්ය දඹර අමිල හිමි පවසන්නේ.

‘පුද්ගලිකව හමුවෙලා අවවාද අනුශාසනා කලාම ඒවා පිළිනොගෙන රටට හතුරු ගමනක් යනව නම් ඔහු ගැන රටට කියන්න සෝභිත හාමුදුරුවෝ පැකිළුණේ නැහැ. කිසිම නායකයෙක් සමඟ වෙළිල ආදරණීය සම්බන්ධකම් පවත්වන්න ගියේ නැහැ, ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් දුරින් හිටියේ. ඒ නිසා ප්‍රේමදාසද, චන්ද්‍රිකාද, මහින්ද රාජපක්‍ෂද, රනිල් ද, සිරිමාවෝ ද කියල ප්‍රශ්නයක් නැහැ. ඒ හැමෝම එක්ක කටයුතු කරලා තියෙනවා.’

‘මේ වතාවේ සෝභිත හාමුදුරුවෝ කියපු දෙයක් තමයි මීට කලින් අපි ආණ්ඩු පත් කරලා අත් දෙක බැඳගෙන බලා ගෙන හිටියා. නමුත් මේ පාර එහෙම කරන්න කරන්නේ නැහැ කියල තමයි යහපාලනය ගෙනාවේ. අපි නරඹන්නෝ බවට පත් නොවී දුටු තැන විවේචනය කරලා හදා ගත යුතුයි කියන ස්ථාවරයේ තමයි හාමුදුරුවෝ හිටියේ.’ ආචාර්ය දඹර අමිල හිමි පැවසූහ.