සෝභිත හාමුදුරුවන්ගේ 'දේහයේ අයිතිය අපටයි'

Image copyright YOUTUBE
Image caption සෝභිත හිමියන් විසින් කෙදිනක කුමන ස්ථානයක මෙම ප්‍රකාශය සිදු කළේද යන්න පැහැදිලි නොමැත.

මාදුළුවාවේ සෝභිත නාහිමියන් තම ආදාහනය සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කිසිදු ලිඛිත ලියවිල්ලක කරුණු දක්වා නොමැති බව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියෝ පවසති.

ආදාහන කමිටුව වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ සෝභිත හිමියන් ජීවත්ව සිටියදී සිය අවමංගල්‍යය ඉතා සරලව සිදු කළ යුතු ආකාරය ගැන පැහැදිලි කරන වීඩියෝවක් මාධ්‍යවල පළ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

සෝභිත හිමියන් විසින් කෙදිනක කුමන ස්ථානයක එම ප්‍රකාශය සිදු කළේද යන්න පැහැදිලි නැති නමුත් "ආදාහන උත්සවයක් කරන්නත් එපා, ළමුන් අව්වේ තියන්නත් එපා, පෙරහැරේ ගෙනියන්නත් එපා, රුපියල් ලක්ෂ ගණන් වියදම් කරන්නත් එපා" යනුවෙන් උන්වහන්සේ පවසන ආකාරය වීඩියෝවේ දැක්වේ.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය හෙට බ්‍රහස්පතින්දා විශාල ජනතා සහභාගීත්වයකින් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීම කෙතරම් දුරට නිවැරදි දැයි වීඩියෝව නැරඹූ ඇතැම් පිරිස් ප්‍රශ්න කරති.

අයිතිය

Image copyright Ranil Wickremesinghe facebook
Image caption ධර්ම දේශනාවක හෝ වෙනයම් අවස්ථාවක සිදු කළ මෙම ප්‍රකාශය යොදා ගෙන අනවශ්‍ය ගැටලුවක් ඇති නොකරන ලෙසයි ශ්‍රී ජයවර්ධන පුර ප්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන් ඉල්ලා සිටියේ

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ආදාහන කමිටුව වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ජයවර්ධන පුර ප්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන් ප්‍රකාශ කළේ සෝභිත හිමියන් අත්හැර ගිය ශරීරයට ගෞරව දැක්විය යුතු ආකාරය තීන්දු කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි.

වීඩියෝවේ දැක්වෙන පරිදි සිය අවසන් කටයුතු කළ යුතු යැයි යන අදහසක් සෝභිත හිමියන් සිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට හෝ සංඝ සභාවට ප්‍රකාශ කර නොතිබූ බවයි චන්ද්‍රසිරි නාහිමියන් පවසන්නේ.

"ලිඛිතව උන් වහන්සේ එවන් ප්‍රකාශයක් කරලා තිනුනානම් එහෙම කරන්න පුළුවන්, නමුත් එහෙම එකක් නැහැ"

ධර්ම දේශනාවක හෝ වෙනයම් අවස්ථාවක සිදු කළ මෙම ප්‍රකාශය යොදා ගෙන අනවශ්‍ය ගැටලුවක් ඇති නොකරන ලෙසයි ශ්‍රී ජයවර්ධන පුර ප්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන් එහිදී ඉල්ලා සිටියේ.

සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් රජයට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළේ සෝභිත හිමියන්ගේ සමාජ මැදිහත් වීම නිසා බංකොලොත් වූ පිරිසක් වැරදි මතයක් නිර්මාණය කරන බවයි.

ආණ්ඩුව කෙරෙහි තිබූ කලකිරීම හේතුවෙන් සෝභිත හිමියන් අපවත් වූ බවට පළ වන ප්‍රකාශ මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියෝ ප්‍රතික්ෂේප කළහ.

"කලකිරීමෙන් හිටියා නම් මීට ඉස්සෙල්ලයි හාමුදුරුවෝ අපවත් වෙන්න ඕනේ, හාමුදුරුවෝ හැමදාම ආණ්ඩු පත් කරනවා, ඉවත් කරනවා, ඒක නෙවෙයි හේතුව. හාමුදුරුවෝ දිගු කලක් රෝගාතුරුව හිටියේ" එහිමියෝ වැඩිදුරටත් පැවසූහ.