'ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල් වල'

Image copyright Gamini Kumarasinghe

දිගින් දිගටම ප්‍රමිතියෙන් බාල ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට චෝදනා කරන සමස්ත ලංකා හෙද සංගමය, මේ වන විට ප්‍රමිතියෙන් තොර ඖෂධ 24 කට ආසන්න ප්‍රමාණයක් රෝහල් වල භාවිත කෙරෙන බවට චෝදනා කරයි.

මේ වසරේ පළමු මාස 10 තුළ ප්‍රමිතියෙන් බාල එම ඖෂධ වර්ග 24 රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම මගින් පැහැදිලි වන්නේ ප්‍රතිපත්තියකට අනුව රටේ ඖෂධ ගෙන් වීම සහ බෙදා හැරීම සිදු නොවන බව යැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ ප්‍රකාශ කළේය.

දුර්වල ක්‍රියාවලියක්

ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන් වීමේ ක්‍රියාවලිය සහ නියමිත ප්‍රමිතියෙන් අඩු ඖෂධ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවයි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ.

ප්‍රතිජීවක ඖෂධ, දියවැඩියා රෝගය සඳහා ලබා දෙන ඖෂධ, කුඩා ළමුන් සඳහා වූ ඖෂධ, මෙන්ම ඇදුම හා හතිය වැනි රෝග වලට ප්‍රතිකාර කෙරෙන ඖෂධ ප්‍රමිතියෙන් බාල ඖෂධ අතර ඇති බව ඔහු පෙන්වා දෙන්නේය.

Image copyright nationalhospital.lk

ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිතා කිරීම මගින් ඇතිවූ ගැටළු සහගත තත්වයන් පිළිබඳව රෝහල්වලට පැමිණිලි ලැබෙමින් තිබෙන බව පැවසූ ඔහු ඉන් අනතුරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඖෂධ තත්ත්ව පාලන අධිකාරිය මගින් කළ පරීක්ෂණ මගින් ඒවා හඳුනාගෙන ඇති බවයි කියා සිටියේ.

රටට ගෙන් වන සියලු ඖෂධ අහඹු ලෙස තෝරා ගෙන ඒවා පරීක්ෂාවට ලක් කළ යුතු නමුත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවන බවත් ඔහු පැවසුවේය.

Image copyright

අසාධු ලේඛනය

වසර ගණනාවක් තුළ රටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ සමාගම් තවදුරටත් ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ සිටින බව පැවසූ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ එම සමාගම් අසාධු ලේඛනයට ඇතුළත් කරන බව රටට ප්‍රකාශ කළත් එසේ සිදු කොට නැති බවත් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහීපාල හේරත් කියා සිටින්නේ එම තොරතුරුවල සත්‍යතාවක් නැති බවයි.

අසත්‍ය තොරතුරු

රෝහල වලට ලබා දෙන තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන හතලිහක් වැය කරන බවයි ඔහු පැවසුවේ.

ඖෂධ සඳහා කෙරෙන ආයෝජන වැඩි කොට ඇති බව පවසන ඔහු හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම පිණිස ගුණාත්මක භාවයෙන් සහ තත්වයෙන් උසස් ඖෂධ ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.