කේපී ගැන මහජනතාව දැන ගත යුතුයි - අභියාචනාධිකරණය

Image copyright Interpol India

2011 වසරේ අත් අඩංගුවට පත් කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියා මාර්ග පිළිබඳව දැන ගැනීමට මහජනයාට අයිතියක් ඇති බව අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබුණි.

කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සම අද (12)කැඳ වූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ විසිනුයි එම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ රජයේ නීතිවේදියා කියා සිටියේ කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිය පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් දිවයිනේ දිස්ත්‍රික්කවල කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරු මාර්ගයෙන් අපරාධ වාර්තා කැඳවා ඇති බවයි.

රතු ලැයිස්තුවේ

එම වාර්තා අනුව කුමරන් පද්මනාදන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් අනාවරණය වී නොමැති බවයි රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේ.

Image copyright www.interpol.int

එම අවස්ථාවේ විනිසුරු මලල්ගොඩ කියා සිටියේ කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ ව දැන ගැනීමට මහජනයාට හිමිකමක් ඇති බවයි.

කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති බව කී විනිසුරුවරයා ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම අවශ්‍ය බවයි කියා සිටියේ.

ත්‍රස්ත මර්දන නීතිය

එම අවස්ථාවේ රජයේ නීතිවේදියා ප්‍රකාශයක් කරමින් කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අලුතින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

එය හොඳ ආරම්භයක් යැයි ප්‍රකාශ කල විනිසුරු විජිත් මලල්ගොඩ පෙත්සම් විභාගය පෙබරවාරි මස 03 වනදා දක්වා කල් තබන බවයි දැනුම් දුන්නේ.

එදිනට පෙර අලුතින් ආරම්භ කර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා රජයේ නීතිවේදියාට නියම කළේය.

එම වාර්තාව සලකා බැලීමෙන් පසුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරන බවත් අධිකරණය දැනුම් දුන්නේය.