සෝභිත හිමියන්ට පහත් ආකාරයේ අපහාස - ජනපති

Image caption 'මාදුළුවාවේ සෝභිත හිමියන්ට ඉතාමත් පහත් ලෙස අගෞරව කරන, නිග්‍රහ කරන ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ දක්නට ලැබුණා'

නිදහස් සමාජයක් තුල නව තාක්‍ෂණය සහ දැනුම භුක්ති විඳීම පිණිස ශ්‍රී ලාංකීය සමාජය කෙතරම් දුරට සූදානම්ද යන්න පුළුල් සාකච්ඡාවකට බඳුන් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

විශේෂයෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වදාල අවස්ථාවේ අන්තර්ජාලය ඔස්සේ එහිමියන්ට 'ඉතාමත් පහත් ලෙස අගෞරව කරන, නිග්‍රහ කරන' ප්‍රකාශ දක්නට ලැබුණු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එම තත්වය තුල 'තාක්ෂණික ඥානයත්, නිදහස වශයෙන් අපි හඳුන්වන නිදහස සමාජයේ ඇතැම් පිරිස් භුක්ති විඳින ආකාරයත්' උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දැඩි සමාලෝචනයකට ලක් විය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කරයි.

Image copyright Sudath Silva President Media Unit
Image caption 'නව තාක්‍ෂණය සහ දැනුම භුක්ති විඳීම පිණිස ශ්‍රී ලාංකීය සමාජය කෙතරම් දුරට සූදානම්ද යන්න පුළුල් සාකච්ඡාවකට බඳුන් විය යුතුයි'

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේදී ආරම්භ වූ 'උසස් අධ්‍යාපනයේ නව ප්‍රවණතා' දෙදින වැඩමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්.

නව තාක්ෂණය සහ භාෂණයේ නිදහස අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව තවත් උදාහරණයක් පෙන්වා දුන් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව ආරම්භ වන දිනවල පළමු පැය සජීවී දර්ශන සඳහා වෙනකර තිබෙන අතරවාරයේ මහජන නියෝජිතයන්ගේ හැසිරීමද ප්‍රබල අවධානයට භාජනය වී තිබෙන බව පෙන්වා දුන්නේය.

"රටේ ජනතාවට යහපත්, සුභවාදී පණිවිඩයක් ඥානාන්විතව ගෙනයාමට ඒ සජීවී පැය කොතෙක් දුරට පාවිච්චි කරනවද කියන කාරණාව එය බලා සිටින ජනතාව තුල සංවාදයක් බවට පත් වී තිබෙනවා," ඔහු පැවසීය.

Image copyright Sudath Silva President Media Unit

එබැවින් නව තාක්ෂණය සහ නිදහස ඇතැම්විට රටේ සහ ජනතාවගේ අයහපත වෙනුවෙන් භාවිතවීම පිළිබඳව පූර්ණ සංවාදයක් අවශ්‍ය බවයි, ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ග්‍රේරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා ඇතුළු පිරිසක්ද උත්සවයට එක් වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර