ඇවන්ගාර්ඩ්: මුහුදු ආරක්ෂණ කටයුතු 'රජයේ පාලනයට'

Image caption ඇවන්ට් ගාර්ඩ් අවි නැව

මුහුදු ආරක්ෂාව සඳහා ඇවන්ගාර්ඩ් සමාගම පවත්වා ගෙන ව්‍යාපාරය 100% ක්ම රජය සතු සමාගමක් යටතේ ඉදිරි කාලයේ දී පවත්වා ගෙන යන ලෙස පුරවැසි සංවිධාන එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

පුරවැසි සංවිධාන එකමුතුව එම ඉල්ලීම කළේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතා අදහස් දක්වමින්.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පුරවැසි නියෝජිතයෝ ඇවන්ගාර්ඩ් සිද්ධිය කළමනාකරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ.

ඇවන්ගාර්ඩ් සමාගමට සම්බන්ධ අවි රජය සතු රක්නා ලංකා සමාගම යටතේ පවත්වා ගත හැකි බවත් පුරවැසි සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

ඇවන්ගාර්ඩ් සමාගමේ දූෂිතයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ එම පදවියෙන් ඉවත් කළ යුතු බවත් පුරවැසි සංවිධාන එකමුතුව ආණ්ඩුවට කියා සිටියහ.

දූෂිතයන් රැකීම

කෙසේ නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ඔහු කිසි දිනයක ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී නොසිටි බවයි.

Image caption පොලිසිය රක්නා ලංකා සමාගමේ අවි පරීක්ෂා කරන අවස්ථාවක්

තමා කතා කළේ නීතිපතිවරයාගේ නිගමනයන්හි නිවැරදිතාව පිළිබඳව පමණක් බවයි ඔහු කියා සිටින්නේ.

මේ අතර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටි ආරච්චි කියා සිටියේ ඇවන්ගාර්ඩ් සමාගම යටතේ පැවති 'මහනුවර' නෞකාවේ අවි ආයුධ නාවික හමුදා භාරයට ගැනෙමින් පවතින බවයි.

මහනුවර නැව

"මහනුවර නැවේ ඇති අවි විදේශ රටවල් වලට අයත් අවි.ඒ නිසා අපට ඒ ගැන ගැටළුවක් නැහැ. අපට ගැට‍ළුවක් පවතින්නේ ඇවන්ගාර්ඩ් නැවේ ඇති අවි සම්බන්ධයෙන් පමණයි," ආරක්ෂක ලේකම්වරයා පවසයි.

Image copyright b
Image caption ආරක්ෂක ලේකම්වරයා

පසුගියදා රඳවා ගනු ලැබුන ඇවන්ගාර්ඩ් නැව සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන හෙයින් ඊට මැදිහත් නොවන බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ඇවන්ගාර්ඩ් නෞකාවේ අංක නොමැති අවි ආයුධ සම්බන්ධයෙන් පොලිසිය විභාග කරමින් ඇති අතර රස පරීක්ෂක වාර්තා අනුව ඉදිරි පියවර ගනු ඇතැයි ද ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටි ආරච්චි සඳහන් කරයි.