ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එනවා බලනවා යනවා විතරයි - ගංවතුරෙන් විපතට පත්වූවෝ

දින කීපයක සිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක නමයක පවුල් 23,519 කට අයත් පුද්ගලයන් 79,085 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුත්තලම ,නුවරඑලිය, බදුල්ල, , ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

මෙම දිස්ත්‍රික්කවල පීඩාවට පත්වූවන්ගෙන් පවුල් 1210 කට අයත් පුද්ගලයන් 3554 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

කිලිනොච්චිය ප්‍රදේශයෙ එක් පුද්ගලයකු ගංවතුර හේතුවෙන් මිය ගොස් ඇති අතර උතුරු ප්‍රදේශයේ පමණක් පවුල් 11,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත.

ආපදා සහ මරණ

පුත්තලම දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 1,421 ක් වන අතර මින් වැඩි පිරිසක් විපතට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේයි . හලාවත මයික්කුලම ප්‍රදේශයේ නිවාස ජලයයෙන් යටව පවතින්නේ දින දහයක පමණ සිටයි.

මෙම දිස්ත්‍රික්කවල මාර්ග රැසක් සහ බොහෝ අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ කොළඹ පුත්තලම මාර්ගයට ගස් කීපයක් කඩ වැටීම හේතුවෙන් ද ගමනාගමනයට බාධා එල්ල විය.

මේ අතර, අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ 22 ක් වාන් දමමින් පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා ප්‍රමාණයේ ජලාශ සියල්ල වාන් දමමින් පවතින බවයි.

අවදානමක්

හලාවත හා මහවැව ප්‍රදේශයේ වැව් කීපයක බැමි කඩ ගෙන යාමේ අවදානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන් ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා වැව් 05 ක වැව් බැමි කැඩී ගොස් ඇති බවද උතුරු මැද පළාත් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කර ඇත.

කැකිරාව පොඩි වැව, කැබිතිගොල්ලෑව, ගල්කඩවල වැව සහ හොරොව්පතාන ප්‍රදේශයේ කුඩා වැව් 03 ක වැව් බැමිවලට මෙලෙස හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩු වීමක් හෙට (16) දිනය වන විට බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයිනට ඊසාන දෙසින් පවතින වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩුව දෙසට ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල ප්‍රකාශ කළේ.