අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය: ජනපති දැනුවත් නෑ?

Image copyright nddcb.blogspot
Image caption ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු ඒ හා සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් තමා සතුව පවතින බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පැවසුවේය

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා වෙනත් අයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා 'එතරම් දැනුවත් වීමකින් නොසිටි බවක්' පෙනෙන්නට තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ධුරය සඳහා නැවත පත් කරනු ලැබූ වෛද්‍ය නිලංග සමරසිංහ බීබීසී සංදේශයට පැවසීය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමත් සමග, රජයේ ඉහළ තනතුරු සඳහා පත් කෙරෙන පුද්ගලයන් නිර්දේශ කරනු වස් විශේෂ කමිටුවක් පිහිටුවීමට ජනපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කළහ.

එම කමිටුවේ අරමුණ වූයේ ඥාති, හිතමිත්‍ර සංග්‍රහයට තිත තබා එම තනතුරු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් පත් කිරීමට අවශ්‍ය රාමුව සකසා දීමයි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වූයේ මෙවැනි වාතාවරණයක් පවතින අතරතුරදීයි.

ඒ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ධුරයට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් පත් කිරීමත් සමගයි.

නව සභාපතිවරයකු පත් කිරීමත් සමග ඇති වූ ආන්දෝලනාත්මක වාතාවරණය යටතේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට නැවතත් එම ධුරය සඳහා තමා පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බව වෛද්‍ය නිලංග සමරසිංහ පැවසීය.

Image copyright news1st
Image caption 'ඒ තනතුරු සඳහා පත් කරන්නේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගිය පුද්ගලයන්ව නම්, නැවතත් එතනදී බිඳ වැටෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේයි, අගමැතිතුමාගෙයි සංවර්ධිත රටක් දකින්න තියන සිහිනයයි'

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුරකතනයෙන් කතා කොට සඳුදා තමා හමු වන ලෙස දන්වා සිටි බවයි වෛද්‍ය නිලංග සමරසිංහ සංදේශයට කියා සිටියේ.

අමාත්‍යංශ ලේකම්වරයා විසින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සඳහා වන නිර්දේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට එවා ඇති බවත් රජයේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත් කෙරෙන විශේෂ කමිටුව විසින් එම නිර්දේශ සලකා බලන බවත් ජනාධිපතිවරයා තමා සමඟ පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

"සාමාන්‍යයෙන් 360 කට අධික ප්‍රමාණයක් පත් කරන නිසා මේ පිළිබඳ සුවිශේෂ අවධානයක් යොමු නොකොට සියලු තනතුරු සඳහා නිර්දේශ ලබා දීමට කටයුතු කළ බවක් තමයි එතුමාගෙන් කියැවුනේ. මේ සම්බන්ධයෙන් එතුමා එතරම් දැනුවත් වීමකින් නොසිටි බව තමයි එතුමාගේ ඒ සාකච්ඡාවේදී මට හැඟී ගියේ," වෛද්‍යවරයා කියා සිටියේය.

පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා සම්බන්ධ දේශපාලනඥයින් පිරිසක් මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ බව එවකට පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ දේශපාලන වේදිකාවේ එක් ප්‍රධාන සටන් පාඨයක් විය.

මෛත්‍රී පාලනයක් සඳහා වූ පොදු අපේක්ෂක වේදිකාවේ, මත් කුඩු වෙළඳාම හා සම්බන්ධ බවට චෝදනා ලත් ඇතැම් දේශපාලනඥයින් වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර ලබා සිටිති.

Image caption 'කැපවීමක් තියන, දක්ෂතා තියන ඉහළ නිලධාරීන් රජයේ ආයතනවල ඉහළ තනතුරු සඳහා පත් කර ගන්න ඕනි. ඒ තනතුරු සඳහා පත් කරන්නේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගිය පුද්ගලයන්ව නම්, නැවතත් එතනදී බිඳ වැටෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේයි, අගමැතිතුමාගෙයි සංවර්ධිත රටක් දකින්න තියන සිහිනයයි'

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු ඒ හා සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් තමා සතුව පවතින බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පැවසුවේය.

කිසියම් ලෙසකින් සිය ජීවිතයට හානියක් වුවහොත් එම නම් ලැයිස්තුව අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඔහු සංදේශයට කියා සිටියේය.

ආසියාව තුළ වියට්නාමය තරම්වත් දියුණු වීමට අවශ්‍ය නම් පවතින ක්‍රමය වෙනස් කොට රජයේ ආයතන මීට වඩා තුන් ගුණයක් වේගයෙන් වැඩ කළ යුතු බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

"කැපවීමක් තියන, දක්ෂතා තියන ඉහළ නිලධාරීන් රජයේ ආයතනවල ඉහළ තනතුරු සඳහා පත් කර ගන්න ඕනි. ඒ තනතුරු සඳහා පත් කරන්නේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගිය පුද්ගලයන්ව නම්, නැවතත් එතනදී බිඳ වැටෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේයි, අගමැතිතුමාගෙයි සංවර්ධිත රටක් දකින්න තියන සිහිනයයි," ඔහු පැවසීය.

"රජයේ ඉහළ තනතුරු සඳහා පත් කෙරෙන කමිටුවෙන් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ."

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් පැතූ සාධාරණ සමාජය වෙනුවෙන් පමණක් තමා හඬ නැගූ බව පැවසූ වෛද්‍ය නිලංග සමරසිංහ "මට මේ සභාපති පදවිය අලුයම ලූ කෙළ පිඬක් තරම්වත් වටින්නේ නැහැ," යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර