ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අල්ලස් හා දූෂණ කොමිසම 'අකාර්යක්ෂම' ඇයි?

අල්ලස් හා දූෂණ කොමිසමේ වැඩකටයුතු කාර්යක්ෂමව සිදු නොවීමට හේතුව මානව සම්පත් හිඟය බව අල්ලස් හා දූෂණ කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ පවසයි.

මේ වන විට අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි 10,000 ක් පමණ එක් රැස් වී තිබෙන බව ඇය කියා සිටියේ අද සඳුදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

නිලධාරීන් 800ක් පමණ අවශ්‍ය අල්ලස් හා දූෂණ කොමිසමේ වැඩකටයුතු සඳහා මේ වන විට ඇත්තේ නිලධාරීන් 150ක පමණ පිරිසක් බවයි කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.

ඒ හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වන පරිදි කොමිසමේ කටයුතු කාර්යක්ෂමව ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ වසර තුළ පමණක් කොමිසම වෙත පැමිණිලි 4,000ක් ලැබී ඇති බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ පසුගිය කාලයේ ගොඩ ගැසුණු පැමිණිලි 6,000ක් පමණ ඇති බවත් ප්‍රකාශ කළාය.

'2001 පැමිණිලි'

ඒ අතර තිබෙන ඇතැම් පැමිණිලි 2001 වසරේ ලැබුණු පැමිණිලි බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ලැබී ඇති කිසිදු පැමිණිල්ලක් ඉවත නොදමා විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය ප්‍රකාශ කළේ.

අල්ලස් කොමිසම සඳහා නව කොමසාරිස්වරුන් පත් කිරීමට පෙර තමන්ට නිදහසේ වැඩ කිරීමට බාධා එල්ල වූ බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය කෙසේවුවත් නව කොමිසම යටතේ විමර්ශන ඉතා හොදින් සිදුවන බවයි පවසන්නේ.

පසුගිය මාසයේ 22 වැනිදා අල්ලස් කොමිසමට නව සාමාජිකයන් පත් කෙරුණු අතර ඔවුන් පළමු රාජකාරිය වශයෙන් සිදු කළේ හිටපු කොමසාරිස්වරුන් විසින් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබූනිලධාරීන් 50 දෙනකු අල්ලස් කොමිසමට බඳවා ගැනීමයි.

ඇවන්ට්ගාඩ්

මතභේදයට තුඩු දී තිබෙන ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා දැයි බීබීසීයේ අසාම් අමීන්, අල්ලස් හා දූෂණ කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහගෙන් එහිදී විමසා සිටි අතර ඇය කියා සිටියේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කොමිසම හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවයි.

පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ප්‍රකාශ කළ නොහැකි බවත් ඇය පැවසුවාය.

'මම ක්‍රියාවෙන් කරන කෙනෙක් මිසක් වැඩිය කතාවට කැමති කෙනෙක් නෙවෙයි.වැඩේ කරලා පෙන්වන්නම්'

ඉල්ලීමක්

තොරතුරු නොමැතිව එක් කඩදාසියක පමණක් පැමිණිලි ඉදිරිපත් නොකර හැකි තරම් තොරතුරු ගොනු කොට පැමිණිලි ඉදිරිපත් කරන ලෙසද ඇය මෙහිදී රජයේ සේවකයන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මෙම වසරේ මුල් භාගයේ දී සම්මත වූ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හේතුවෙන් සාක්ෂිකරුවන් හට කිසිදු අර්බුදකාරී තත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇති බව අවධාරණය කළ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන බවට තමන් පොරොන්දු වන බවයි කියා සිටියේ.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය යෙදෙන දෙසැම්බර නව වැනිදා දූෂණ විරෝධී සිවිල් සංවිධාන ද සමග එක්ව දූෂණයට එරෙහිව පාගමනක් සංවිධානය කර ඇතැයිද ඇය මෙහිදී පැවසූ අතර එහිදී දූෂණයට එරෙහිව අල්ලස් කොමිසමේ නව වැඩපිළිවෙලද ඉදිරිපත් කරන බවයි වැඩිදුරටත් පැවසුවේ.