දේශපාලන සිරකරුවන් පිරිසක් 'පුනරුත්ථාපනයට'

Image caption 'සිරකරුවන් අතරින් පළමු කණ්ඩායම ඉදිරි දින දහය ඇතුලත පුනරුත්ථාපන වැඩසටහනට යොමු කිරීමට ආණ්ඩුව එකඟ වුනා'

දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් පුනරුත්ථාපන වැඩසටහනට යොමු කරන මෙන් කරන ලද ඉල්ලීම සලකා බැලීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් ඒ බව කියාසිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවන ලද රැස්වීමකදී අගමැතිවරයා හමුවීමෙන් හමුවීමෙන් අනතුරුව බීබීසී දෙමළ සේවය සමඟ අදහස් දක්වමින්.

එම සිරකරුවන් අතරින් පළමු කණ්ඩායම ඉදිරි දින දහය ඇතුලත පුනරුත්ථාපන වැඩසටහනට යොමු කිරීමට ආණ්ඩුව එකඟ වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹ බන්ධනාගාරයකදී සිරකරුවන් මුණගැසුන බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් අගමැතිවරයාගේ ප්‍රතිඥාව සිරකරුවන්ට දැනුම් දුන් බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Image caption අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා බන්ධනාගාරයේදී සිරකරුවන් හමුවිය

ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කර එය බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බව එහිදී සිරකරුවන් පවසා තිබේ.

තමන් පිරිස පුනරුත්ථාපනයට යොමු කරන මෙන් සිරකරුවන් 99 දෙනකු ආණ්ඩුවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ඒ අතරින් 85 දෙනකුට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු විභාග පැවැත්වෙන බවත් පැවසීය.

මීට ඉහතදී ආණ්ඩුව ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් පළ නොකළ නමුත්, එම ඉල්ලීම සලකා බැලීමට දැන් ආණ්ඩුව එකඟ වී ඇති බවයි ඔහු පවසන්නේ.

වසර පහකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් නිදහස් කළ යුතු බව සඳුදා පැවති සාකච්ඡාවේදී බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ස්ථාවරය වී තිබේ.

ආණ්ඩුව එම යෝජනාවට එකඟ වූ බවක් පෙනී ගිය බව සඳහන් කරන සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව ඉක්මනින්ම නීතිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් පැවසීය.

සිරකරුවන් 59 දෙනකු වසර පහකට වැඩි කාලයක් එසේ බන්ධනාගාරගතව සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.