පාසල් ළමුන්ට නිල ඇඳුම් වවුචර ලබන සතියේ

පාසල් ළමුන් ලක්ෂ 42 ක් සඳහා රජයෙන් නිල ඇදුම් වෙනුවට වවුචර් ලබා දීමේ වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලයේ අනුමතිය ලැබේ.

පසුගිය කාලයේ නිල ඇදුම් ලබා දීමේදී ඇතිවූ ගැටළු සහ නාස්තිය ගැන සලකා බලා වවුචර් පත් ක්‍රමය හඳුන්වා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද, බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේය.

පසුගිය කාලයේ පාසල් ළමුන් සඳහා නිල ඇදුම් ලබා දීමේ ක්‍රමවේදයේ ගැටළු රැසක් තිබුණු නිසා එම ගැටළු වළක්වා ගැනීමට මෙම වවුචර් පත් ක්‍රමය හඳුන්වා දීමට රජය තීරණය කල බවයි අධ්‍යාපන ඇමතිවරයා පැවසුවේ.

මෙමගින් රජයට මෙන්ම සිසුන්ටද වාසි රැසක් අත්වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

“රජයට මෙමගින් රුපියල් මිලියන 500ක විතර මුදල් ඉතිරි වෙනවා. ඒක අධ්‍යාපනයේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා, ඒවගේම අතරමැදියන් නැති නිසා ඒ වාසිය ද සිසුන්ට දෙන්න අපි තීරණය කරලා තියෙනවා," ඔහු පැවසුවේය.

පසුගිය කාලයේ සිසුන්ට රජයෙන් ලබා දුන් නිල ඇදුම් වලින් භාවිතයට ගෙන තිබුනේ 75% ක ප්‍රමාණයක් පමණක් බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මෙම ක්‍රමවේදය මගින් නාස්තිය වැළකෙන බව කියා සිටියේය.

එමෙන්ම අදාළ වවුචරය යොදා ගෙන ප්‍රමිතියට අනුකූල නිල ඇ දුම්ද සිසුන්ට ලබාගත හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

පාසල් බලධාරීන් විසින් ලබා දෙන වවුචර් ඕනෑම රෙදි වෙළඳසැලකට ලබා දී නිල ඇදුම් ලබාගත හැකි බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා එම වවුචර් පත්වලින් ලබාගත හැක්කේ නිල ඇදුම් පමණක් බවද අවධාරණය කළේය.

" මම දැක්කා මාධ්‍යවල යනවා මේ මුදල අර ගෙන ගිහින් තාත්තා අරක්කු බොයි කියලා, එහෙම කරන්න බැහැ, මේක වවුචර පතක්. මේකෙන් වෙළෙඳ සැලට දුන්නහම නිල ඇදුම් රෙදි පමණයි ලබාගත හැක්කේ," ඔහු පැවසුවේය.

Image copyright AFP

පසුගිය කාලවල ලබා දුන් ධීවර ඉන්ධන සහනාධාරය, පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ අසාර්ථක වුවා මෙන් මෙම වවුචර් පත් ක්‍රමයද අසාර්ථක වනු ඇතැයි ජනතාව අතර බියක් ඇතිවී තිබෙන බවයි බිබිසි ය ඇමතිවරයාට පෙන්වා දුන්නේ.

" මේක අවුරුද්දකට දෙන්නේ එක පාරයි, ඒ නිසා එච්චර ආමාරු නැහැ, නිල ඇදුම් බෙදා දීමේ ව්‍යුහය තියෙනවා, සාමාන්‍ය නිල ඇදුම් ලබාදීමේ දී සිදුවූ සියලු පරීක්ෂා කිරීම් මෙහිදීත් සිදු වෙනවා"

ගුරුවරුන්ට පාසල් වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීම සහ ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳව ඇතැම් පළාත් මහ ඇමතිවරුන් විසින් පනවා ඇති නීති සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්දැයි බීබීසී ය ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

" ජංගම දුරකථන උගන්න වේලාවකදී පාවිච්චි නොකිරීම ගුරුවරුන්ගේ යුතුකම, නමුත් මේක නීති දාලා පාලනය කල යුතුයි කියලා මම හිතන්නේ නැහැ, අපි නම් දාන්නේ නැහැ, ඇඳුමත් එහෙමයි ගුරුවරියන් තමන් ගුරුවරියක් කියන තැන ඉඳල ඇදුම් අදින්න ඕන, නමුත් මේවා පාලනයට නීති දාල හරියයි කියල මම හිතන්නේ නැහැ"

පාසල් ළමුන්ට වවුචර ලබා දීම ලබන සතියේ සිට ආරම්භ වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.