'ජාතික ප්‍රශ්නයට මැදිහත් වෙන්න' මෝඩිට ඉල්ලීමක්

Image copyright Reuters

ක්වාලාලම්පූර් නුවර පැවැත්වෙන නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වීමට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැලේසියාවේ දෙමළ ජාතික දේශපාලනඥයින් කිහිප දෙනකු හමු විය.

එහිදී ඉන්දීය අගමැතිවරයා සමග ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කළ බවයි බීබීසි දෙමළ අංශය සමග සාකච්ඡාවකට එක්වූ මැලේසියාවේ ඩිමොක්‍රොටික් ඇක්ෂන් පක්ෂයේ උප සභාපති එම් කුලසේකරන් කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමට යෝජනාවලියක් සම්මත වී ඇති බව පවසන කුලසේකරන් වැඩි දුරටත් කියා සිටියේ මින් පෙරත් මෙවැනි යෝජනා සම්මත වූ නමුත් අද වන තෙක් ලංකාවේ පවතින තත්වය වෙනස් වී නැති බවයි.

මෝඩිගෙන් උපදෙස්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ඉන්දීය රජයේ මැදිහත් භාවය ලබා දෙන මෙන් සිය පක්ෂය ඉන්දීය අගමැති මොඩිගෙන් ඉල්ලා සිටි බවයි ඔහු පැවසුවේ.

Image copyright Reuters

එම ඉල්ලීමට පිළිතුරු දුන් අගමැති නරේන්ද්‍ර මෝඩි සිය රජයට ඒ වෙනුවෙන් ගත හැකි පියවර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බව කුලසේකරන් පවසයි.

පැවති සාකච්ඡාව පිළිබඳ වැඩි තොරතුරු හෙළි කළ ඔහු කියා සිටියේ තවමත් දෙසීයකට අධික දෙමළ සිරකරුවන් වසර 10ක් පමණ කාලයක් ශ්‍රී ලංකා පොලිස් රැඳවුම් භාරයේ සිටින බවත් මේ වන විට ඔවුන් මාරාන්තික උපවාසයක යෙදෙන බවත් අගමැතිවරයාට දැනුම් දුන් බවයි.

මෙම පැමිණිලි සහ තොරතුරු ලිඛිත වශයෙන් සටහන් කොට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට ලබා දෙන ලෙස තමන්ට අගමැති මෝඩි උපදෙස් දුන් බවයි එම් කුලසේකරන් වැඩි දුරටත් කියා සිටියේ.