දුම් ගාස්තුවේ 'බරත් දෙමව්පියන්ටයි'

Image copyright Getty
Image caption 'ඇත්තටම මේක ගාස්තුවක් කිව්වට බද්දක්. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නෑ.මේ බර ආයෙත් මව්පියන්ට යන්නේ'

අවුරුදු තුනට වඩා පැරණි රථවාහන සඳහා දුම් විමෝචන ගාස්තු අය කිරීමේ අයවැය යෝජනාව ඉවත් කරන මෙන් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහකයන්ගේ සංගමය ආණ්ඩුවට බල කර සිටියි.

'රථවාහන තදබදයට විසඳුමක් ලෙස සහ විදෙස් ආයෝජකයන් සතුටු කිරීමට ආණ්ඩුව ගත් මෙම තීරණය, රජයට බරක් නොමැතිව රට පුරා හතළිස් දහසක් වූ පාසල් ළමුන් ප්‍රවාහකයන්ට බලපානු ඇති බව' එම සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ පැවසුවේය.

''ඇත්තටම මේක ගාස්තුවක් කිව්වට බද්දක්. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නෑ. මෑතකදී ගත්ත බස් කිහිපයක් හැරුනම තියෙන්නේ අවුරුදු තිහ තිස්පහ පරණ වාහන. අලුත් වාහන තියාගෙන කර ගෙන යන්න පුළුවන් සේවාවක් නෙවෙයි මේක. කිසිම රජයකින් සහන නොලැබුනු සේවාවවක් මේක. මේ බර ආයෙත් මව්පියන්ට යන්නේ. පාසල් ළමයින් ප්‍රවාහන සේවාව පුද්ගලික සහ ලංගම බස් සේවාවට වැඩිය විශාල සේවයක්.''

'ගාස්තු ඉහළට'

දුම් විමෝචන ගාස්තු අය කිරීම සඳහා වන යෝජනාව තමන්ට පමණක් නොව සාමාන්‍ය තත්වයේ මෝටර් රථවාහන යොදා ගනිමින් විවිධ ජීවන මාර්ග වල නිරත ලක්ෂ ගණනක ජනතාවකට තදින් බලපානු ඇති බව ද කිත්සිරි අමරසිංහ ලේකම්වරයා පෙන්වා දෙයි.

''දැන් පාසල් ළමයි ගෙනි යන වාහනයක වාර්ෂික ආදායම් බලපත් ගාස්තුව එක් සීට් එකකට රුපියල් පන්සියයක්. මගී ප්‍රවාහන අධිකාරියේ වාහනයක සීට් එකකට රුපියල් එකසිය පනහයි. රටට කිසිම බරක් නැති ස්වයං රැකියාවක් අපි කරන්නේ. අපි ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ නියාමනයක් විතරයි. එහෙම වෙද්දී අපි මත බදුපිට බදු පටවනවා. එතකොට අපිට වෙනවා මේ දරුවන්ගේ මව්පියන්ගෙන් අය කරන ගාස්තුවට වැඩියෙන් තව සීයක් දෙසීයක් අය කරන්න. මොකද මේකට සමගාමිව තවත් එක එක දේවල් ඉහළ යනවනේ.''

වත්මන් රජයේ අයවැයෙන් සහන ලැබෙතැයි බොහෝ බලාපොරොත්තු තබා ගත්තද සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටිමකැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහකයන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර