දෙමළ සංවිධාන තහනම දිගටම: 'වැරදියි'

Image copyright AFP
Image caption දෙමළ ඩයස්පෝරා සංවිධාන යුද්ධයේ අවසාන සමයේ ලන්ඩන් නුවර උද්ඝෝෂණවල නිරත වූහ

සිය සංවිධානයට එරෙහිව පණවා තිබූ තහනම ඉවත් කරන ලද නමුත් කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව සංවිධාන කිහිපයක් තවදුරටත් තහනම් කිරීම අනුමත කළ නොහැකි බව ගෝලීය දෙමළ සංසදය පවසයි.

1968 දී සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ අංක 45 දරන පණත යොදාගනිමින් එවක පැවති මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් විදේශගත දෙමළ සංවිධාන 16 ක් සහ විදේශගත දෙමළ ජාතිකයන් 424 දෙනකු තහනම් කරන ලදි.

ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයකින් අනතුරුව සංවිධාන අටකට සහ පුද්ගලයන් 267 දෙනකුට එරෙහිව පණවා තිබූ තහනම ඉවත් කරන බව පසුගිය සිකුරාදා නව ආණ්ඩුව නිවේදනය කළේය.

එම තීරණයට ප්‍රසාදය පළ කරන ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන්, කෙසේ නමුත් සංවිධාන අටකට සහ පුද්ගලයන් 157 දෙනෙකුට එරෙහිව තවදුරටත් තහනම ක්‍රියාත්මක කිරීම හඳුන්වන්නේ පදනම් විරහිත ක්‍රියාවක් ලෙසින්.

Image caption 'එක්සත් ජාතීන්ගේ පණතේ තියන විධිවිධාන මේ සැරෙත්, මේ ආණ්ඩුවත් අනුගමනය කරලා නෑ'

"එක්සත් ජාතීන්ගේ පණතේ තියන විධිවිධාන මේ සැරෙත්, මේ ආණ්ඩුවත් අනුගමනය කරලා නෑ," ඔහු සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

කිසියම් සංවිධානයක් හෝ පුද්ගලයකු තහනම් කිරීමට අවශ්‍ය නම්, එසේ තහනම් කිරීමට සැරසෙන පුද්ගලයන්ට ඔවුන්ට එරෙහි චෝදනා ඉදිරිපත් කොට එයට ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගත යුතුය යන්න එක්සත් ජාතීන්ගේ පණතේ සඳහන් වන බවයි, ඔහු පවසන්නේ.

"ගිය ආණ්ඩුව ඒක මොනවත් කෙරුවේ නෑ. මේ සැරේ ඒක අඩු කරන කොට මේ ආණ්ඩුවත් ඒ වැරැද්ද ආයෙත් කරලා තියෙන්නේ," සුරේන් සුරෙන්දිරන් පැවසීය.

තහනම ඉවත්කිරීමට පෙරාතුව ගෝලීය දෙමළ සංසදය විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ලන්ඩන් නුවරදී සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කරන ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශකයා, තහනම ඉවත්කළහොත් ශ්‍රී ලංකාව දියුණු කිරීමට ආධාර කරන්නේ දැයි එහිදී ඔවුන් තමන්ගෙන් විමසා සිටි බවත් පැවසීය.

තහනම දිගටම බලපැවැත්වෙන ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව සාක්ෂි තිබිය හැකි නොවේදැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ එසේ සාක්ෂි තිබෙන්නේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුව ඒවා ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර