'ධර්ම සංගායනාවට කලින් දූෂණ සංගායනාව කරන්න'

මහා පරිමාණ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමට වහා පියවර ගන්නා මෙන් රජයට බල කරමින් කොළඹදී විරෝධතා රැළියක් පැවැත්විණි.

මෙම විරෝධතා පාගමන කැඳවා තිබුණේ ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයයි.

‘දූෂිතයන් කිසිවෙකුට දඬුවම් දෙන බවක් පෙනෙන්නට නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහත්තය ධර්ම සංගායනා තියන්න යනවා ලබන අවුරුද්දේ. ඊට කලින් දූෂිතයන්ට එරෙහි සංගායනාව කරන්න කියල තමයි අද මහජනතාව පාරට ආවේ.’ විරෝධතා රැළියේ අරමුණ පැහැදිලි කරමින් ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ පැවසීය.

පුරවැසියන්

‘පුරවැසි බලය’ වෙනුවෙන් කතා කළ රාවය පුවත් පතේ කාර්තෘ කේ ඩබ් ජනරංජන කියා සිටියේ දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා පුරවැසියන් සහ දේශපාලන පක්‍ෂ එකට අත්වැල් බැඳ ගෙන ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළ යුතු බවයි.

දූෂණ වලට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් පාලකයන් පසුගිය ආණ්ඩුවේ දූෂිත දේශපාලකයන් හා එක්ව ගනුදෙනු කරන බවයි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කතා කළ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ.

කලාකරුවන්

නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, රංගන ශිල්පිනී දීපානි සිල්වා වැනි ශ්‍රී ලංකාවේ මුල් පෙළේ කලාකරුවන් සහ ගාමිණී වියන්ගොඩ වැනි ලේඛකයන් ද මෙම විරෝධතා රැළියට සහභාගී වීම විශේෂත්වයකි.

මාස හයකින් කරනවයි කිව්වා. මොනවද කලේ. අගෝස්තු 17 වැනිදා තවදුරටත් ඉදිරියට ගෙන යනවා කිව්වා. ඔව්, ඒ විදියටම තමයි ඉදිරියට ගෙනියන්නේ. ඒ ගොල්ලෝ අරගොල්ලොත් එක්ක එකතු වෙලා මොනවද කරන්නේ. දූෂණයයි වංචාවමයි කරගෙන යන්නේ. කිසිම වෙනසක් නැහැ 2014 දී කළ දේවල් ම තමයි කරගෙන යන්නේ.’ රංගන ශිල්පිනී දීපානි සිල්වා රැළිය අමතමින් පැවසුවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර