කරාපිටියේ හද සැත්කම් කරන්න බෑ: විශේෂඥ වෛද්‍ය

Image caption 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන් රෝගීන්ගේ බුහුමනට පාත්‍රව සිටින විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මේ වන විට හෘදය සැත්කම් 14,000 වඩා සිදුකර තිබේ (සංරක්ෂිත ඡායාරූපයක්)

කරාපිටිය රෝහලේ උරස් ශල්‍ය ඒකකය මාරු කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාව ඉටු වන තුරු හදවත් සැත්කම් යළි ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ පවසයි.

හදවත් සැත්කම් යළිත් වරක් නවතා දැමීමට තමන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක හේතු මත පදනම් වූවක් බවයි, දැනට හෘදය සැත්කම් 14,000 කට වඩා සිදු කර තිබෙන විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන් රෝගීන්ගේ බුහුමනට පාත්‍රව සිටින වෛද්‍ය ගමගේ ඒ බව කියා සිටියේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. (හඬ පටයට සවන්දෙන්න)

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෘදය සැත්කමකට භාජනය කරන ලද රෝගීන් විෂබීජවලින් විනිර්මුක්ත කරන ලද පරිසරයක තබා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන වෛද්‍යවරයා, කරාපිටිය රෝහලේ එවැනි පරිසරයක් සකස් කරගත නොහැකි නම් තවදුරටත් හෘදය සැත්කම් සිදු කිරීමේ ප්‍රතිඵලයක් නොමැති බව අවධාරණය කරයි.

රෝහලේ උරස් සැත්කම් සහ හදවත් සැත්කම් එකම ශල්‍යාගාරයක සිදු කිරීම සහ එම රෝගීන් සියලු දෙනා එකම දැඩි සත්කාර ඒකකයක රඳවා තැබීමයි අර්බුදයට මුල් වී තිබෙන්නේ.

කරාපිටිය රෝහලේදී හදවත් සැත්කම්වලට භාජනය කරන දරුවන් තිදෙනකු පසුගියදා මරුමුවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බවයි, ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ පවසන්නේ.

"දරුවන් තුන්දෙනෙක් විෂබීජ නිසා මියගියා. ඒ වගේම තවත් මාස තුනක දරුවෙක් දැනටත් මගේ වාට්ටුවේ ඉන්නවා ඉතා දරුණු ලෙස විෂබීජ ශරීර ගතවෙච්ච."

Image caption මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූයේ හද සැත්කමෙන් අනතුරුව විෂබීජයක් ශරීර ගතවීම හේතුවෙන් බවට වාර්තා

මේ තත්වය දුටු කුඩා දරුවන්ගේ සංකීර්ණ හදවත් සැත්කම් කිරීම පිණිස පසුගියදා රෝහලට පැමිණි ලන්ඩනයේ Guys රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිස විස්මය පත් වූ බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

"Guys හොසිප්ටල් එකෙන් ආපු ශල්‍ යවෛද්‍යවරයා කිවුව මේක කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් එකක් නෙවෙයි කියල."

තත්වය විමසා බැලීම පිණිස අඟහරුවාඩා රෝහලේ සංචාරයක යෙදුනු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉක්මනින්ම උරස් ශල්‍ය ඒකකය වෙනත් ස්ථානයකට මාරු කරන බවට ප්‍රතිඥා දී තිබේ.

"ඒ විසඳුමට ඉතින් කාල රාමුවක් නෑ. එතුමා කිවුවේ ලබන අවුරුද්දේ විතර දෙන්නම් කියල. විද්‍යාත්මක හේතුවක් නිසයි මම ඉවත් වුනේ. විද්‍යාත්මක හේතුව විද්‍යාත්මක විදියටම හරිගස්සලා දෙනකම් මට ශල්‍යකර්ම කිරීමේ හැකියාවක් නෑ."

මාදුළුවාවේ සෝභිත හිමියන්ද අපවත් වූයේ හද සැත්කමෙන් අනතුරුව රෝහලේදී විෂබීජයක් ශරීර ගතවීම හේතුවෙන් බවට පළ වූ වාර්තා තමන්ද දුටු බව පවසන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා, "විවෘත හෘද ශල්‍යකර්මයකට භාජනය වෙච්ච රෝගියෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතාම අඩු මට්ටමකට බහින," බව සඳහන් කළේය.

"විෂබීජයක් ඒ අවස්ථාවේදී ආවොත් ඉතාම ඉක්මනින් අල්ල ගන්නවා. එහෙම ආවම ඒගොල්ලන්ට රෝගයක් හැදෙනවා එහෙම හැදුන රෝගීන් ගෙන් 98%ක් 99% ක් විතරම මිය යනවා."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර