ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අපිත් ලංකාවේ ඉස්කෝලේ ගිය ළමයි'

තම උපාධිය පිළිගන්නා ලෙස ඉල්ලමින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් දියත් කළහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස විරෝධතා දියත් කරමින් සිටින අවස්ථාවකයි එහි ඉගෙන ගන්නා සිසුන් මෙලෙස විරෝධතාවයේ යෙදුණේ.

තම උපාධිය සඳහා නිසි පිළිගැනීමක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුව අනුව සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක් ලබා දෙන ලෙස රජයට බල කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බවයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ තිලිනි දිසානායක පැවසුවේ.

තම විශ්ව විද්‍යාලයේ සිටින්නේ දක්ෂ ශිෂ්‍යන් බවත් ඔවුන් බොහෝ දෙනා ඉතා සුළු ලකුණු ප්‍රමාණයකින් රජයේ වෛද්‍ය විද්‍යාල අහිමි වූවන් බවත් ඇය ප්‍රකාශ කළාය.

"මෙතන ඉන්නේ ලංකාවේ ළමයි, ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලා ලංකාවේ විභාග පාස්වුනු ළමයි, හොද විභාග ප්‍රතිඵල අරනුත් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉඩ නැති නිසා එම අවස්ථාව අහිමිවුණු ළමයි, මේ අයට ඉගෙන ගන්න අවස්ථාව නැද්ද ? " ඇය පැවසුවාය.

විදේශ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නා අයට ශ්‍රිලංකාවේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබියදී ශ්‍රී ලංකාවේ ඉගෙන ගන්නා තමන්ට එම අවස්ථාව ලබා නොදීම ප්‍රශ්නයක් බවයි ඇය පෙන්වා දුන්නේ.

"අපිත් පිටරට ගිහිල්ලා සල්ලි වියදම් කරලා ඉගෙන ගෙන අවොත් විභාගයක් ලියල අපි අද වෛද්‍යවරු. නමුත් ලංකාවේ ඉගෙන ගත්ත නිසා අද අපිට ඒ අවස්ථාව නැහැ" මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ තිලිනි දිසානායක ප්‍රකාශ කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන ආකාරයට නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමක් මෙමගින් සිදු නොවන බවයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ප්‍රගීත් විමල්චන්ද්‍ර පැවසුවේ.

"මට හැකියාවක් ලැබුනේ නැහැ රජයේ වෛද්‍ය පීඨයට යන්න, ඉතින් මම ඒ හින්දයි මෙම විද්‍යාලයේ ඉගෙන ගන්නේ, අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න" ඔහු පවසයි.

මෙම සිසුන්ගේ මව්පියෝ ද මෙම විරෝධතාවට එක්ව සිටියහ.

උසස් පෙළ සමත් වෙන සිසුන් සියළු දෙනාට ඇතුළත් විය හැකි පරිදි විශ්ව විද්‍යාල පුළුල් කිරීමට රජයට නොහැකිනම් පුද්ගලිකව හෝ ඉගෙන ගැනීමට ඇති අවස්ථාව ළමයින්ට ලබා දිය යුතු බවයි දෙමව්පියන් පවසන්නේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව පවත්වා ගෙන ගිය මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමැතිය ලබා නොදීම හේතුවෙන් මේ වන විට එහි ඉගෙන ගන්නා සිසුන් දහසක ගේ පමණ අනාගතය අවිනිශ්චිත තත්වයක පවතියි.

මේ අතර පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙසත්, විශ්ව විද්‍යාල බඳවා ගැනීම ඉහළ දමන ලෙසත්, රජයේ පාසල්වල ගාස්තු අය නොකරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (23) පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් පාගමනක් ආරම්භ කළේය.

මෙම පාගමන ලබන 27 වැනි දා කොළඹ කොටුවෙන් අවසන් කිරීමට නියමිතයි.